Saturday, October 25, 2014

POST සහ Beep කේත




“පරිගනකය පණ ගන්වන විට නැගෙන බීප් නාදය වෙත ඔබ මීට පෙර සැලකිල්ලෙන් සවන් දුන්නාද? එය ඔබගේ පරිගනකයේ සෞඛ්‍‍ය තත්වය පිළිබඳ වැදගත් පණිවිඩයක් ඔබට කියන්නට මග බලා සිටී.”



පරිගනකය ක්‍රියාත්මක කරන සෑම අවස්ථාවකම මෙහෙයුම් පද්ධති‍යේ ආරම්භක තිරය දර්ශනය වීමට පෙර කළු පැහැති පසුබිමක සුදු පැහැති අකුරු පෙළක් දිස්වීම පිළිබඳ ඔබ සැලකිලිමත් ද?

එසේ තිරයක් මතු කරමින් ක්‍රියාත්මක වන වැඩසටහන පරිගනකයේ “පණගැන්වීමේ ස්වයං පරීක්ෂාව” හෙවත් POST (Power On Self Test) ලෙස හදුන්වයි. මවු පුවරුවේ මතක චිපයක ගබඩා කර ඇති මෙම වැඩසටහන මගින් පරිගනකය පනගැන්වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ඇත්දැයි පරීක්ෂා කරනු ලබන අතර ඉහත සඳහන් කරන ලද කළු පැහැති තිරයේ දිස් වන්නේ එම පරීක්ෂාවන්ට අදාල ප්‍රථිපලයන් බවද අවධානයෙන් නිරීක්ෂනය කලහොත් ඔබට දැකගතහැකි වනු ඇත.

පරිගනකය ක්‍රියාත්මක කිරීමේදී ඇසෙන “බීප්”  නාදය ද මෙම POST වැඩසටහනේ ම ප්‍රතිදානයක් වන අතර එම හඬ ඇතිකරන්නේ මවු පුවරුවේම සවි කර ඇති කුඩා Buzzer (speaker) එකක් මගිනි.

විවිධ මවු පුවරු නිශ්පාදකයන් විසින් පරිගනකය පනගැන්වීමේදී ඇතිවන විවිධ දෝෂයන්/අසමත් වීම් (POST failures)  වාර්ථා කිරීම සඳහා විවිධ බීප් කෙතයන් ( (Beep Codes) භාවිතා කරන අතර IBM සහ තවත් ප්‍රධාන සමාගම් රැසක් භාවිතා කරන සම්මත බීප් කෙතයන් (Beep Codes) කිහිපයක් පහත දැක්වේ.




1)       කිසිදු බීප් නාදයක් නැත             
          
          පරිපථ ලුහුවත් වීමක්, විදුලි බලය නොමැති වීමක්, මධ්‍ය සකසනයේ, 
          මවු පුවරුවේ දෝෂයක් හෝ බල සැපයුම් කෙවෙනි වල බුරුල් වීමක්

2)       එක් කෙටි බීප් නාදය

          සියල්ල සාමාන්යයි. පණගැන්වීමේ ස්වයං පරීක්ෂාව සමත්

3)       කෙටි බීප් නාද දෙකක් 

          පණගැන්වීමේ ස්වයං පරීක්ෂාවේ හෝ CMOS පරිපථයේ දෝෂයක්

4)       එක් දිගු බීප් නාදය සහ එක් කෙටි බීප් නාදය

          මවු පුවරුවේ දෝෂයක්

6)       එක් දිගු බීප් නාදය සහ කෙටි බීප් නාද දෙකක්    
                 
          වීඩියෝ පරිපථයේ දෝෂයක්

7)       දිගු බීප් නාද තුනක්                                                       

          යතුරු පුවරුවේ දෝෂයක්

8)       නැවත නැවත ඇතිවන දිගු බීප් නාදය                                          

          ප්‍රධාන මතකයේ දෝෂයක් (RAM)

9)       නැවත නැවත ඇතිවන උස් පහත් බීප් නාදය                              

          මධ්‍ය සකසනය අධික ලෙස රත් වීම


පරිවර්ථනය කිරීමේදී ඇතිවන අරුත් වෙනස්වීම් මගහරවාගැනීම සඳහාම පමණක් ඉංග්‍රීසි උපුටාගැනීම මෙලෙස දක්වමු.


1.) No beep - Short, No power, Bad CPU/Motherboard, Loose peripherals
2.) One beep - Everything is normal and computer POSTed fine
3.) Tow beeps - POST/ CMOS error
4.) One long beep & one short beep - Motherboard problem
5.) One long beep & two short beeps - Video problem
6.) One long beep & three short beep - Video problem
7.) Three long beeps - Keyboard problem
8.) Repeated Long beeps - Memory error
9.) Continuous Hi-Low beeps - CPU overheating

ඇමරිකන් ක්‍රමයට Internet යන හැටි






ආයුබෝවන් යාළුවනේ! අද ලිපියෙන් ඔයාලට කියන්න යන්නෙ ටිකක් වෙනස් විදිහෙ දෙයක් ගැන. ඇත්තටම මේක පොඩි software එකක්. මේක භාවිතා කරලා ඔයාලට ඉතාමත් පහසුවෙන් ඇමරිකන් IP ලිපිනයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්.


දැන් ඔයාලා බලනව ඇති ලංකාවෙ අපි මොකටද ඇමරිකන් IP address එකකින් ඉන්ටනෙට් යන්නෙ කියලා නේද? ඔව්, ඇත්තටම මේකෙන් අපිට පොඩි පොඩි වාසි කිහිපයක්ම ලබාගන්න පුළුවන්. ඔයාලා සමහරවිට දන්නවා ඇති විවිධ රජයන් විසින් එයාලගෙ රට තුල විවිධ අන්තර්ජාල නීති පනවනවා. උදාහරණයක් විදිහට චීනෙ facebook තහනම්. අන්න ඒ වගේ අපේ රට තුල ඉඳලත් සම්බන්ධ වෙන්න බැරි වෙබ් අඩවි තියනවා. සමහර YouTube videos අපේ රටේ ඉන්න අයට බලන්න බැරිවෙන විදිහට තමයි upload කරලා තියෙනෙ.අන්න එහෙම අපේ රටට block කරලා තියන වෙබ් අඩවි වලට මේ කියන software එක භාවිතා කරලා ඉතාම පහසුවෙන් පිවිසෙන්න පුළුවන්.

හැබැයි ඒ කිව්වෙ එක වාසියක් විතරයි. මේ software එක භාවිතා කරලා අන්තර්ජාලයට සම්බන්ධ වෙන ඔයාට තවත් වාසි කිහිපයක්ම ලබාගන්න පුළුවන්. මේකෙන් ඔයාගෙ ඇත්ත IP address එක hide වෙලා ඇමරිකන් IP address එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන නිසා අනවසරයෙන් පරිගනක වලට ඇතුල්වෙන්න උත්සහ කරන පුද්ගලයන්ගෙන් (snoopers) බේරෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ඔයා public wifi network එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවනම් සබඳතාවයේ ආරක්ෂාව තහවුරු කරන්න මේ වගේ software එකක් භාවිතා කරන එක වඩා වැදගත්.

හරි. විස්තර කිව්වට software එකේ නම කිව්වෙ නෑනෙ. මේකෙ නම තමයි Hotspot Shield. ඔයාලට http://www.hotspotshield.com/ කියන වෙබ් අඩවියෙන් මේ software එක download කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පහළ තියන download button එක click කරන්න.

Hotspot Shield මෘදුකාංගයේ නොමිලයේ දෙන සංස්කරණයක් සහ මුදල් ගෙවා ලබාගන්න සංස්කරණයක් තියනවා. නමුත් අපි download කරගන්න ඕනෙ නොමිලයේ දෙන සංස්කරණය. මේ සංස්කරණයේ සීමිත පහසුකම් ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. නමුත් අපේ වැඩේට මේක ප්‍රමාණවත්. එහෙනම් කට්ටියම පහලින් download කරගන්නකො.


 Download Now



හරි එහෙනම්. ගැටළුවන් නැතුව download කරගන්න ඇති කියලා හිතනවා. Button එක වැඩ කලේ නැත්නම් http://www.hotspotshield.com/ වෙබ් අඩවියෙන් free version එක බාගන්න.

දැන් ඔයාලා download කරගත්තු file එක double click කරලා install කරගන්න.
 










Install වෙලා අවසාන් උනාම finish click කරන්න. දැන් වැඩේ ඉවරයි. දැන් ඔයාගෙ desktop එකේ තියන Hotspot Shield icon එක double click කරලා open කරගන්න. එතකොට මෙන්න මේ වගේ window එකක් open වෙලා hotspot shield එක connect වෙයි.





අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක කරලා වැඩේ ඉවර උනාම රතු පාටින් තියන “PAUSE PROTECTION” කියන BUTTON එක click කරලා disconnect කරලා දාන්න පුළුවන්.

ඔයාගෙ පරිගණකයේ notification area එක තුල (screen එකේ පහළ දකුණු කෙලවර බලන්න) තියන පොඩි hotspot shield icon එක double click කරලා අවශ්‍ය වෙලාවට මේ window එක විවෘත කරගන්න පුළුවන්.




මේ software එක පරිගණකයට විතරක් නෙවෙයි, Android සහ Apple smartphone වලටත් install කරගන්න පුළුවන්. App store එකේ Hotspot Shield කියලා search කරලා බලන්න.

මේ video එකත් බලන්නකො. එතකොට වැඩේ හොඳටම පැහැදිලි වෙයි.






හරි එහෙනම්. Install කරලම කොහොමද කියලා බලන්නකො. හැබැයි අපි මේ install කරන්නෙ free version එක නිසා අපි connect උනාම අපේ web browser අපි බලන සයිට් එකට අමතරව විවිධ වෙලඳ දැන්වීම් පේන්න පටන්ගන්නවා. මේ නිසා අපේ වැඩ නිදහසේ කරගන්න ටිකක් කරදරයි. බය වෙන්න එපා. ඒකටත් විසඳුමක් තියනවා.  

කලින් ලිව්ව “කරදරකාර Ad වලට සුභ ගමන්” post එක බලන්න. ඒකෙ තියන විදිහට extension එක install කරගත්තාම වැඩේ හරි.


 කරදරකාර Ad වලට සුභ ගමන්


එහෙනම් ඔයාලා උත්සහ කරල බලන්නකො. ගැටළුවක් තිබුනොත් කමෙන්ට් එකක් දාලා අහන්න. දැන් ඔයාලගෙ පහසුවට අපි Anonymous කමෙන්ට් දාන්නත් අවස්ථාව දීලා තියෙන්නෙ.


අළුතින් ලියවෙන ලිපි ගැන ටච් එකේ ඉන්න අපේ facebook page එකට like එකක් දාන්න.
දැන් ගොඩක් අය Google+ එකට සෙට් වෙලා නිසා අපේ Google+ page එකටත් follow පාරක් දාගෙනම යන්න.


මේ ලිපියෙන් ඔයාලට කියලාදෙන්න බලාපොරොත්තු වුනේ පොඩි tip එකක් විතරයි. ඉදිරි දවසක Hotspot Shield වගේ software තුල භාවිතා වන IP Address, Porxy, DNS, VPN වගේ තාක්ෂණයන් ගැන අපේ සුපුරුදු තාක්ෂණික ලිපියකින් සවිස්තරව සාකච්ඡා කරමු.

පෙන් එකෙන් boot කරන්න software ඕනෙමද?








කොහොමද යාළුවනේ, මේ දවස්වල ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්ණයක් තමා CD ROM එකක් නැති මැෂින් එකකට වින්ඩෝස් දාගන්නෙ කොහොමද කියන එක. ඉතින් මේ ගැටළුවට තියන සරළම විසඳුම තමා bootable pen drive එකක් භාවිතා කරන එක. නමුත් අපි කොහොමද අපේ pen drive එක bootable disk එකක් කරගන්නෙ? 

ඉතින් අද ඔයාලට කියලාදෙන්න යන්නේ කිසිම software එකක් භාවිතා කරන්නෙ නැතුව ඉතාම පහසුවෙන් USB pen drive එකක් bootable drive එකක් බවට පත්කරගෙන ඒ හරහා පරිගනකයට මෙහෙයුම් පද්ධතිය (Operating System) install කරගන්නෙ කොහොමද කියන එක ගැන. ගොඩක් දෙනෙක් මේ ගැන අහලා තිබුනු නිසා ලියන්න හිතුනා. ඉතින් කියවලාම බලන්නකො කොහොමද කියලා…





අපි මේ වැඩේ කරගන්න යන්නෙ command prompt එකේ කුඩා commands කිහිපයක් type කිරීම මගින්. එහෙනම් මුලින්ම Start > All programs > Accessories > Command prompt කියන තැනට ගිහින් command prompt එක open කරගන්න. දැන් ඔයාලට මෙන්න මේ විදිහට command prompt එක දැකගන්න පුළුවන් වෙයි.





දැන් ඔයාලගෙ command prompt එකේ diskpart කියලා type කරලා enter කරන්න. එතකොට සමහරවිට අළුතින් command prompt window එකක් open වෙයි. එහෙම නැත්නම් cursor එක තියන තැන DISKPART කියලා වෙනස් වෙයි මෙන්න මේ විදිහට.
 








මෙතනින් ඉස්සරහට යන්න නම් ඔයාගෙ Pen Drive එක මැෂින් එකට plug කරලා තියෙන්න ඕනෙ. දැනට plug කරලා නැත්නම් දැන් කරන්න.

දැන් ඔයාලට කියන්න යන්නෙ type කරන්න ඕනෙ command ටික. අපැහැදිලි තැනක් ආවොත් පහලින් දාලා තියන photo එක බලන්න. ඒකෙ තියනවා commands ටික type කලාම දැකගන්න පුලුවන් වෙන විදිහෙ screenshot එකක්.

එහෙනම් මුලින්ම DISKPART එකේ මෙන්න මේ විදිහට type කරන්න. හැම command එකක් අවසානයේම enter press කරන්න අමතක කරන්න එපා! හැම command එකකම අවසානයේ වරහන් ඇතුලෙ press enter කියලා දාලා තියෙන්නෙ ඒක ඔයාට මතක් වෙන්න. Press enter කියලා command line එකේ type කරන්න එපා!

  • list disk (press enter)

දැන් ඔයාලට ඔයාලගෙ පරිගනකයට සම්බන්ධ කරලා තියන disk drives වල list එකක් ලැබෙයි. ඒ list එකේ තියන disk වල size එකෙන් ඔයාගෙ pen drive එක හඳුනාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මගෙ pen එක 8GB නිසා size කියන තැන 7632 MB කියලා වැටිලා තියෙන්නෙ ඒක බව හඳුනාගන්න පුළුවන්.ඔයාලගෙ pen drive එකෙත් capacity එක ආසන්න වශයෙන් දැකගන්න පුළුවන් වෙයි. එතනින් නිවැරදිව හඳුනාගන්න.


  • select disk # (press enter)


මෙතනදි # සලකුණ තියන තැනට කලින් ලැබුනු list එකේ ඔයාගෙ pen drive එකට අදාල disk number එක ලබාදෙන්න ඕනෙ. මගෙ උදාහරණයේ විදිහට නම් අංක 2. දැන් ඔයාට අදාල disk එක select වුනු බවට message එකක් ලැබෙයි.

  • list partition (press enter)


දැන් ඔයාගෙ disk එක partition කරලා නම් තියෙන්නෙ partitions list එකක් ලැබෙයි. මගෙ pen drive එක නම් partition කරලා නැති නිසා එක partition එකයි පෙන්නන්නෙ. ඔයාලගෙත් බොහෝ විට මේ විදිහම වෙයි. Partitions කිහිපයක් තියනවනම් OS එක copy කරගන්න ප්‍රමාණවත් ඉඩක් තියන partition එකක් තෝරගන්න.

  • select partition # (press enter)


නැවතත් # සළකුණ තියන තැනට ඔයා තෝරගත්තු partition එකේ number එක ලබාදෙන්න ඕනෙ. එක partition එකයි නම් තියෙන්නෙ ඒකෙ අංකය (බොහෝවිට 1)

  • active (press enter)


මේ command එක මගින් තමා ඇත්තටම ඔයාගෙ pen drive එක active partition එකක්, එහෙමත් නැත්නම් bootable disk එකක් බවට පත් කරන්නෙ.

  • format fs=ntfs quick (press enter)


මේකෙන් වෙන්නෙ pen එක NTFS කියන file system එකට format වෙන එක. Quick කියලා දාන්න අමතක කරන්න එපා. නැත්නම් format වෙන්න ගොඩක් වෙලා යන්න පුළුවන්. ඒත් ඔයාට full format එකක් ඕනෙ නම් format fs=ntfs විතරක් type කරලා enter කරන්න. හැබැයි එතකොට ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා. කොහොමහරි format වෙන ප්‍රතිශතය පහලින් පෙන්වයි. ඒක 100% වෙනකන් ඉන්න ඕනෙ.

වැඩේ හරියට තේරුනේ නැත්නම් මේ screenshot එක බලන්න. ඔයා commands ටික හරියට type කලා නම් ඔයාටත් මෙන්න මේ වගේ එකක් ලැබෙන්න ඕනෙ.



හ්ම්ම්… දැන් වැඩේ ඉවරයි. අන්තිමට මේ command එක type කරලා DISKPART එකෙන් ඉවත් වෙන්න.

  • exit (press enter)


දැන් ඔයාගෙ Windows (හෝ වෙනත් ඕනෑම මෙහෙයුම් පද්ධතියක්) DVD එකේ තියන files ඔක්කොම අඩු නැතුව pen එකට copy කරගන්න. ඊට පස්සෙ bootable device එක විදිහට pen එක select කරලා boot කරලා බලන්නකො මොකද වෙන්නෙ කියලා.

IP, Proxy සහ DNS හඳුනාගනිමු








පරිගනක සහ අන්තර්ජාලය භාවිතා කරන ඔබට නිතරම අසන්නට ලැබෙන වචන තුනකි IP, Proxy සහ DNS. නමුත් ඔබ මෙම වචන වල අර්ථන නිවැරදිව දන්නවාද?

නැත!

ඔව්. අන්තර්ජාලයට සම්බන්ධ පරිගනකයක් භාවිතා කරන ඔබ සියළුදෙනාම මෙම IP, Proxy සහ DNS යන තාක්ෂණයන් අනිවාර්‍යයෙන්ම භාවිතා කරන නමුත් ඒවා මොනවාද යන්න සහ එම තාක්ෂණයන් ඔස්සේ අපගේ පරිගණක භාවිතය වඩාත් පහසු කරගන්නා ආකාරය පිළිබඳව නොදනී.





Internet Protocol (IP)


IP යනු කුමක්දැයි ඔබ දන්නවාද?

ඔව්! IP එකක් යනු 192.168.1.1 වැනි අංකයකි.

ඔබත් සිතන්නේ එලෙසද? එසේනම් ඔබ IP යනු කුමක්දැයි හරිහැටි නොදනී. නමුත් මෙම ලිපිය අවසානයේ ඔබ IP පිළිබඳව බොහෝ දේ දන්නා පුද්ගලයෙකු බවට පත්වනු නොඅනුමානය.

අන්තර්ජාලය හෝ වෙනත් එවැනි විශාල පරිගනක සංඛ්‍යාවක් එක් කර නිපදවන පරිගනක ජාලයකදී පරිගනක අතර දත්ත සන්නිවේදනය ඉතා පහසුවෙන් සහ කාර්‍යක්ෂමව සිදුකිරීම උදෙසා එම දත්ත සන්නිවේදනය යම්කිසි සම්මත ප්‍රමිතියක් ඔස්සේ සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස විවිධ රටවල සිටින විවිධ භාෂා කතා කරන මිනිසුන් ලෝකය සමග සම්බන්ධ වීමේදී පොදු සන්නිවේදන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයි. එලෙසම විවිධ වූ මෙහෙයුම් පද්ධති සහිත විවිධ වූ පරිගනක අන්තර්ජාලය තුල දත්ත සන්නිවේදයන කිරීමට භාවිතා කරන සම්මත ප්‍රමිතිකරණය “අන්තර්ජාල නියමාවලිය” හෙවත් Internet Protocol ලෙස හඳුන්වනු ලබයි.

අන්තර්ජාල නියමාවලිය ඔස්සේ දත්ත සන්නිවේදනය සිදුකිරීමේදී එම ක්‍රියාවලිය කොටස් කිහිපයකට බෙදා වෙන්කර පියවරෙන් පියවර සිදුකරනු ලබයි


  1. යෙදුම් ස්ථරය (Application Layer)
  2. ප්‍රවාහන ස්ථරය (Transport Layer)
  3. අන්තර්ජාල ස්ථරය (Internet Layer)
  4. සම්බන්ධක ස්ථරය (Link Layer)
  5. භෞතික ස්ථරය (Physical Layer)

ඔබේ පරිගනකය ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති වෙනත් පරිගනකයක් වෙත පණිවිඩයක් යවන අවස්ථාවක් සලකමු. ඔබ යම්කිසි මෘදුකාංගයක් ඔස්සේ විවිධ අක්ෂර වලින් ඔබේ පණිවිඩය සකස් කරනු ලබයි. මෙය සිදුවන්නේ යෙදුම් ස්ථරය තුලයි. මෙහිදී ඔබට වර්ණවත් අතුරුමුහුනතක් සහිත මෘදුකාංගයක් ලැබේ.

නමුත් පරිගනකය ඔබ ලබාදෙන අක්ෂර තේරුම් ගනු ලබන්නේ අක්ෂර ලෙස නොව විද්‍යුත් සංඥා (Electronic signals) ලෙසය. ප්‍රවාහන ස්ථරය තුලදී ඔබ ලබාදුන් දත්ත මෙම විද්‍යුත් සංඥා බවට පත්කර සන්නිවේදනයට සූදානම් කිරීම සිදුකරනු ලබයි. මෙම විද්‍යුත් සංඥා “දත්ත මළු” හෙවත් Data Packets ලෙස හඳුන්වනු ලබයි.

මීලඟ පිවිසෙන්නේ ජාල ස්ථරය තුලටය. මෙම පියවර තුලදී ඉහත සඳහන් කල packets යොමුකලයුතු පරිගනකය හඳුනාගෙන ඒ වෙත යොමු කරනු ලබයි. මේ සඳහා IP address භාවිතා කරනු ලබයි.

Link Layer සහ Physical Layer යනු දත්ත සන්නිවේදයන වන ජාලයේ ඇති විවිධ රැහැන් සහ භෞතික උපකරණයන්ය. මෙම ලිපිය හඳුන්වාදීමේ ලිපියක් බැවින් ඒ පිළිබඳව ඔබේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු නොවේ.



IP address යනු මොනවාද?


IP යන වචනය ඇසූ පමණින් බොහොදෙනාගේ මනසට නැගෙනුයේ IP address ය. නමුත් IP address එකක් යනු අන්තර්ජාල නියමාවලියේ භාවිතා වන එක් ක්‍රමවේදයක් පමණි. ඉහත සඳහන් කල විවිධ ස්ථරයන් අතරින් Internet Layer තුල භාවිතා වන මෙම IP address යනු අන්තර්ජාලයට සම්බන්ධව ඇති පරිගනක අනන්‍යව හඳුනාගැනීමට භාවිතා කරන ලිපින විශේෂයකි. 192.168.1.1 , 208.106.55.68 , 172.254.93.48 වැනි ලිපින වර්ථමානයේ බහුලව භාවිතා වන Ipv4 සම්මතයේ IP ලිපින සඳහා උදාහරණ ලෙස දැක්ක්වියහැක. IP ලිපිනයක් කොටස් හතරකින් යුක්ත වන අතර නැවතීමේ තිත “.” භාවිතා කර එම කොටස් වෙන්කර දක්වනු ලැබේ.

අන්තර්ජාලයට සම්බන්ධව ඇති සෑම පරිගනකයකටම මෙවන් IP ලිපිනයක් තිබෙන අතර මේවා වරින්වර වෙනස්වන Dynamic IP address හෝ ස්ථාවර Static IP address වියහැක. කෙසේ වෙතත් නිවසක් වෙත ලියුමක් යැවීමට එම නිවසේ තැපැල් ලිපිනය භාවිතා කරන සේම අන්තර්ජාලය තුල පරිගනකයක් හඳුනාගනු ලබන්නේ සහ ඒ වෙත පණිවිඩයක් යොමු කරන්නේ මෙම IP ලිපිනය ඔස්සේය.

ඔබේ IP ලිපිනය කුමක්දැයි පරීක්ෂා කිරීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න

තැපැල් ලිපිනයක් හඳුනාගැනීමට නිවසේ අංකය, වීදිය, නගරය, තැපැල් කොට්ඨාශ අංකය, වැනි විවිධ කොටස් භාවිතා කරනු ලබන ආකාරයටම IP ලිපිනයක් තුලද විවිධ උප කොටස් සහ විවිධ IP ලිපින පංති (Classes) ඇති නමුත් මෙම ලිපිය තුල එතරම් ගැඹුරට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවේ. “Internet Protocol” පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.





Proxy Server හඳුනාගනිමු



අන්තර්ජාලය භාවිතා කරන බොහෝදෙනා වැඩිවශයෙන් කතාබහ කරන තවත් මාතෘකාවකි Proxy. ඔබ ඔබේ IP ලිපිනය hide කිරීම සඳහා  proxy එකක් භාවිතා කරනවා වියහැක. නමුත් proxy එකක් යනු IP address hide කිරීමට භාවිතා කරන උපක්‍රමයක් පමණක්ම නොවේ. මෙය ඔබගේ අනන්‍යතාවය සඟවා තබාගැනීම භාවිතා කලහැකි ආරක්ෂක උපක්‍රමයක් ලෙස ද යොදාගත හැක.

මීට අමතරව විවිධ රටවල් තුල හෝ ආයතන තුල ඇති පරිගනක ජාල ඔස්සේ අන්තර්ජාලයට ප්‍රවේශ වීමේදී යොදා ඇති විවිධ අවහිරකිරීම් මගහැර යාමට Proxy එකක් භාවිතා කලහැක

 
Proxy එකක් හරහා අවහිර කර ඇති වෙබ් අඩවියකට පිවිසීම






තවද යම් පරිගනක ජාලයක් මේ ආකාරයට Proxy Server එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ කිරීම මගින් ජාලයේ ඇති පරිගනක විසින් නිතර නිතර ඉල්ලා සිටිනු ලබන වෙබ් පිටු Proxy Server එක තුල තාවකාලිකව ගබඩා කර තබාගන්නා ලබන අතර (caching) නැවත එම පිටුව ඉල්ලාසිටින විට අන්තර්ජාලයට සම්බන්ධ නොවී එම ගබඩා කරගත් පිටුව ලබාදේ. මෙමගින් ජාලයේ වේගය වැඩිකරගතහැකි වන අතර අන්තර්ජාල කළාප පළල (Internet bandwidth / Internet Usage) ද අවම කරගතහැකි වේ.




Proxy එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීම


               





DNS හඳුනාගනිමු




DNS යන්නෙන් අර්ථනිරූපනය වන්නේ Domain Name Service යන්නයි.

අප අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවියකට පිවිසීමට භාවිතා කරන වෙබ් ලිපින domain එකක් ලෙස හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස www.google.lk යනු Google සමාගමේ domain name එකයි. සැබැවින්ම මෙය Google සෙවුම් යන්ත්‍රය අන්තර්ගත Server පරිගනකය හඳුනාගැනීමට භාවිතා කරන නාමයයි.

නමුත් ආරම්භයේදී සඳහන් කල පරිදි පරිගනකයකට මෙවන් අක්ෂර වලින් සැදුම්ලත් නාමයක් තේරුම්ගත නොහැකිය. පරිගනක පරිගනකයක් විසින් තවත් පරිගනකයක් හඳුනාගනු ලබන්නේ IP ලිපිනයක් මගිනි. DNS භාවිතා කරන්නේ මෙම ගැටළුව නිරාකරණය කරගැනීමට ය. DNS යනු පරිගනක ජාලය තුල ස්ථාපනය කර ඇති තවත් සේවාදායක පරිගනකයක් (server) තුල ක්‍රියාත්මක වන පරිගනක වැඩසටහනකි. මෙමගින් අප විසින් ලබාදෙන Domain Name එක IP ලිපිනයක් බවට පරිවර්ථනය කරනු ලබයි.

DNS Server එක තුල විවිධ Domain name වලට අදාල IP ලිපින ඇතුලත් වගුවක් පවත්වාගනු ලබන අතර පරිශීලකයා විසින් ලබාදෙනු ලබන domain name එකට අදාල IP ලිපිනය හඳුනාගෙන ඔහුව අදාල වෙබ් අඩවිය ඇතුලත්වන Server පරිගනකය වෙත යොමු කිරීම DNS හි කාර්‍යභාරය වේ.



DNS හි ක්‍රියාකාරීත්වය



තෝරාගත් පරිගනක ජාලයක් තුල තෝරාගත් වෙබ් අඩවි අවහිර කිරීමට මෙම DNS සේවාව බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. උදාහරණයක් ලෙස කාර්‍යාලීය පරිගනක ජාලය තුල facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුම මග DNS ඔස්සේ අදාල අඩවි අවහිර කිරීමයි.

Open DNS භාවිතා කර මෙවැනි සේවාවන් රැසක් නොමිලයේම ලබාගන්නා ආකාරය පිළිබඳව ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.




මෙම ලිපිය IP, Proxy සහ DNS පිළිබඳව ඔබට හඳුන්වාදීම අරමුණුකරගෙන ලියවුනු එකක් බැවින් එක් එක් විෂයපථය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවේ. මෙම එක් එක් මාතෘකාව පිළිබඳව ගැඹුරින් අධ්යනය කරන ලිපි මාලාවකින් ඉදිරි දිනයකදී හමුවෙමු.

෴ස්තුතියි෴
--------------------------

SLT broadband router එක තනිවම configure කරගනිමු








කොහොමද යාළුවනේ?? ටික දවසක නිහඬතාවයකින් පස්සෙ ආපහු බ්ලොග් එක පැත්තෙ ආවෙ ඔයාලාට ගොඩක් වටින ප්‍රායෝගික ගැටළුවකට විසඳුමත් අරගෙන. පහුගිය දවස් ටිකේ විවිධ පරිගනක උපකාරක සමූහ කිහිපයකම නිතර නිතර දකින්න ලැබුන ප්‍රශ්ණයක් තමයි අපි ADSL Router එකක් නිවැරදිව configure කරගන්නෙ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත විවිධ ගැටළු. ඉතින් අද පෝස්ට් එකෙන් ඔයාලට කියලාදෙන්න යන්නෙ ඒ ගැන.

අපේ රටේ (ශ්‍රී ලංකාවෙ) ඉතින් ADSL කිව්වොත් SLT විතරයිනෙ තියෙන්නෙ. ඉතින් ADSL Internet සබඳතාවයක් භාවිතා කරන අපේ යාළුවො වැඩි දෙක් පාවිච්චි කරන්නෙ SLT ආයතනයෙන්ම ලබාදෙන ZTE zxv10 w300 කියන මාදිලියෙ router එක. ඒ නිසා මේ පෝස්ට් එකෙන් කියලාදෙන්න යන්නෙ ZTE zxv10 w300 කියන මාදිලියෙ router එකක් අන්තර්ජාලය සහ WiFi network එක සඳහා නිවැරදිව configure කරගන්න ආකාරය.



උපකරණය හඳුනාගනිමු


හරි. මේ පෝස්ට් එක කියවලා ඉවර වෙනකොට ජීවිතේ කවදාවත් router එකක් දැකලා නැති කෙනෙකුට උනත් වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න ඕනෙ කියන එකයි මගේ අරමුණ. ඒ නිසා Configure කරන්න කලින් අපි අපේ router එක භෞතිකව හඳුනාගනිමු.


අපි මේ කතා කරන්න යන ZTE zxv10 w300 router එකක ඉදිරිපස සහ පසුපස පෙනුම මෙන්න මේ විදිහට දැකගන්න පුළුවන්.

ඉදිරිපස පෙනුම


පසුපස පෙනුම





අපි අපේ router එක configure කරන්න කලින් මුලින්ම කරන්න ඕනෙ දේ තමයි අපේ cables (රැහැන්) ටික නිවැරදිව router එකට plug කරගන්න එක. ඒ නිසා මුලින්ම ඒ ගැන ටිකක් කතා කරමු. කලින් රූපසටහනේ තිබුනු විදිහට router එකේ පිටිපස්සෙ විවිධ ස්විච් කිහිපයක් සහ ports කිහිපයක් දැකගන්න පුළුවන්. මුලින්ම ඒ ගැන පොඩි අවබෝධයක් ලබාගෙන ඉදිරියට යමු. 




මේ රූපසටහනේ හැටියට එක් එක් අංක වලට අදාලව මෙන්න මේ විදිහට අපේ router එක හඳුනාගන්න පුළුවන්.

1)     Power connector - මෙතනට තමයි අපේ router එකේ විදුලිබල සැපයුම ලබා දෙන්න ඕනෙ. Router එකත් එක්ක ලැබෙන කුඩා power pack එක ප්‍රධාන විදුලියට සම්බන්ධ කරලා අනිත් කෙළවර මෙතනට සම්බන්ධ කරන්න ඕනෙ.

2)     Power button - විදුලි බලය ලබාදුන්නට පස්සෙ router එක on/off කරන්නෙ මේ switch එකෙන්

3)     WiFi On/Off switch - අපේ router එකේ WiFi පහසුකම තියන නිසා ඒක On/Off කරන්නෙ මේ switch එකෙන්. (configuration settings වලිනුත් WiFi on/off කරන්න පුළුවන්)

4)     LAN ports - මේ තියෙන්නෙ අපේ පරිගනකය router එකට සම්බන්ධ කරන්න භාවිතා කරන port එක. CAT5 cable එකක් ඔස්සේ RJ45 සම්බන්ධකයක් කරහා පරිගනකය router එකට සම්බන්ධ කරන්න ඕනෙ. මේ මාදිලියෙ නම් LAN ports 4ක් ලබාදීලා තියනවා. (මේකට අවශ්‍ය එක් cable එකක් router එකත් සමග ලැබෙනවා. අමතරව ඕනෙ නම් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්)


5)     LINE - මේ තියෙන්නෙ අපේ ADSL සබඳතාවය router එකට සම්බන්ධ කරන port එක. SLT එකෙන් ඔයාලගෙ නිවසට ලබා දීලා තියන රැහැන Splitter කියන උපකරණයෙන් රැහැන් දෙකකට වෙන් වෙනවා. ඊට පස්සෙ එයින් එකක් දුරකතනය සම්බන්ධ කරන්න භාවිතා කරනවා. අනිත් රැහැන තමා ගෙනත් මෙතනට සම්බන්ධ කරන්න ඕනෙ. (බොහෝ විට Splitter උපකරණය දක්වා වැඩ ටික දුරකතන සමාගමෙන් සිදු කරන නිසා ඔයාලට තියෙන්නෙ එයාලා ලබාදීලා තියන ADSL රැහැන කෙලින්ම මෙතනට plug කරන එක. මේක RJ11 වර්ගයේ සම්බන්ධකයක්)


6)     WiFi antenna - මේ තියෙන්නෙ අපේ router එකේ WiFi ඇන්ටනාව. මේක හරහා තමයි WiFi signal සම්ප්‍රේශණය වෙන්නෙ. වැඩි ප්‍රදේශයකට WiFi ආවරණය ලබාගන්න නම් ඕනෙ ප්‍රභල ඇන්ටනාවක් භාවිතා කරන්න පුළුවන්.


නිවැරදිව cables ටික plug කරගත්තට පස්සෙ අන්තිමට power cable එක plug කරලා switch එක On කරන්න. දැන් ඔයාලගෙ router එකේ ඉස්සරහ තියන Power කියන LED එක රතු පාටින් දැල්විලා තිබිලා ඊට පස්සෙ කොළ පාට වෙයි. ඒ කියන්නෙ router එක නිවැරදිව On උනා කියන එක.

ඊට පස්සෙ ඔයාගෙ ADSL සබඳතාවය සහ පරිගනකයට සම්බන්ධ කරලා තියන LAN සබඳතාවය නිවැරදිව ක්‍රියාත්මක වෙනවනම් DSL සහ LAN කියන LED දෙකත් කොළ පාටින් දැල්වෙයි. (LAN LED එක නිවි නිවී දැල්වීම සාමාන්‍ය දෙයකි. DLS LED එක ක්‍රියාත්මක නොවේ නම් සබඳතාවයේ දෝශයක්.).
WLAN කියන්නෙ WiFi indicator එක. ඒක කොළපාටින් දැල්වෙයි. එහෙම නැත්නම් router එක පිටිපස්සෙ තියන WiFi switch එක (රූප සටහනේ අංක 3) එක පාරක් press කරන්න. එතකොට WLAN කියන LED එකත් දැල්වෙන්න පටන්ගනී.

නමුත්,  router එක ඉදිරිපස තියන Internet කියන LED එක “රතු පාටින්” දැල්වෙන්න පටන්ගනී. ඒ කියන්නෙ ඔයා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නෑ කියන එක. නිවැරදිව අන්තර්ජාලයට සම්බන්ධ උනාම මේ indicator එකත් අනිත් ඒවා වගේ “කොළ” පාට වෙන්න ඕනෙ. නමුත් router එකේ Internet settings ටික නිවැරදිව සකස් කරන තෙක් අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා දැන් බලමු කොහොමද හරියට Internet settings ටික configure කරගන්නෙ කියලා.


අන්තර්ජාල සැකසුම්


මේ සඳහා මුලින්ම අපි router එකට ලොග් වෙන්න ඕනෙ. කරන්න තියෙන්නෙ හරිම පහසු දෙයක් . ඔයාගෙ web browser එක open කරලා address bar එකේ 192.168.1.1 කියලා type කරලා enter key එක press කරන්න.
 





දැන් ඔයාට ලැබෙයි මෙන්න මේ වගේ පොඩි pop-up window එකක්
 



User name සහ Password කියන දෙකටම admin කියලා type කරලා “Log In” කියන button එක click කරන්න. (මේ password එකට log වුනේ නැත්නම් ඔයාගෙ router එකේ password එක වෙනස් කරලා. එහෙම උනොත් router එක reset කරන්න වෙනවා. ඒක කරන විදිහ post එකේ අන්තිමට දාන්නම්. පහලට ගිහින් බලන්න.)

මේ විදිහට  User name සහ Password ලබාදුන්නට පස්සෙ ඔයාලට router එකට log වෙන්න පුළුවන්. එහෙම log උනාම ඔයාලට මුලින්ම මෙන්න මේ වගේ page එකක් දැකගන්න ලැබෙයි. මේ දර්ශනය වෙන්නෙ ඔයාලගෙ router එකේ විවිධ තොරතුරු. නමුත් ඒ හැම එකක් ගැනම මේ ලිපියෙන් කතාකරන්න ගියොත් ලිපිය ගොඩක් දිග වෙන නිසා Internet settings configure කරගන්න විදිහ විතරක් කියන්නම්. මුලින්ම රූප සටහනේ පෙන්වලා තියන විදිහට Interface Setup කියන setting එක click කරන්න.
 


                                          
දැන් ඔයාලට මෙන්න මේ විදිහට Interface setup page එක දැකගන්න පුළුවන් වෙයි.



        
මුලින්ම page එකේ දෙවනියට තියන Status කියන සැකසුම Activated කියන option එක තෝරන්න ඕනෙ.

ඊට පස්සෙ කහ පාටින් පෙන්වලා තියන විදිහට Servicename කියන තැනට ඔයාලගෙ අන්තර්ජාල සේවා සපයන ආයතනයේ නම ලබාදෙන්න ඕනෙ. Sri Lanka Telecom භාවිතා කරනවනම් slt කියලා type කරන්න.

Username සහ Password කියන තැන් වලට SLT එකෙන් ඔයාලට ලබාදුන්න Username එක සහ Password එක ලබාදෙන්න ඕනෙ. ඒක මතක නැත්නම් 1212 අංකයෙන් SLT පාරිභෝගික සේවයට දුරකතන ඇමතුමක් අරන් දුරකතන අංකය කියලා ඒකට අදාල Username සහ Password ලබාගන්න පුළුවන්. ඒ ලබාගත්තු Username සහ Password එක ඉහත රූපසටහනේ දක්වලා තියන විදිහට අදාල කොටු වලට යොදන්න.

අනිත් settings තියන විදිහටම තියන්න. ඒවා වෙනස් කරන්න යන්න එපා. දැන් මේ page එක පහලටම scroll කරලා page එකේ පහළ තියන save button එක click කරන්න.

ඔයා ලබාදුන්නු Username එක සහ Password එක නිවැරදි නම් තත්පර කිහිපයක් ඇතුලත router එකේ ඉදිරිපස තියන Internet කියන LED එක කොළපාට වෙන්න ඕනෙ. (එහෙම උනේ නැත්නම් ආයෙත් 1212 අංකයෙන් SLT එකට කතා කරලා කියන්න. බොහෝ විට ඔයා ලබාදුන්නු Username සහ Password එකේ තමා වැරැද්ද තියෙන්න පුළුවන්.)


WiFi ජාලය නිර්මාණය කරමු



හරි. මේ වෙනකොට ඔයාගෙ router එක නිවැරදිව Internet එකට connect වෙලා තියෙන්න ඕනෙ. අවශ්‍ය නම් කැමති web site එකකට ගිහින් හරියට වැඩකරනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ගැටළුවක් ඇති උනොත් පහලින් comment එකක් දාලා අහන්න.

එහෙනම් අපේ ඊලඟ පියවර තමයි router එකේ wireless access point එක configure කරගැනීම. ඇත්තටම මේකත් ඉතාම සරළ වැඩක්. මුලින්ම wireless settings page එකට යන්න ඕනෙ. ඒකට Interface setup page එකේ ඉහල තියන wireless කියන tab එක click කරන්න. (wireless settings වලට යන්න කලින් සකස් කරගත්තු internet settings ටික save කරන්න අමතක කරන්න එපා.)







දැන් ඔයාලට මෙන්න මේ විදිහට wireless settings page එක දැකගන්න පුළුවන් වෙයි.





මුලින්ම තියන Access Point කියන setting එක Activated තත්වයට පත් කරගන්න ඕනෙ.  පෝස්ට් එකේ මුලින්ම කිව්ව විදිහට router එකේ පිටිපස්සෙ තියන WiFi switch එක press කරන්නෙ නැතුව WiFi On කරන්නෙ මෙන්න මේ විදිහට. දැන් අනිත් සැකසුම් හදාගන්න විදිහ බලමු.

Page එකේ මැද හරියට වෙන්න තියන Broadcast SSID කියන තැනට Yes තෝරන්න. ඊට පස්සෙ SSID කියලා තියන තැනට ඔයාට කැමති නමක් ලබාදෙන්න. මින් ඉදිරියට ඔයාගෙ WiFi network එක හඳුනාගන්නෙ ඒ නමින්. එතනම පහල තියන Authentication type කියන තැනට WPA2-PSK කියන එක තෝරන්න.

දැන් පහල තියන Pre-Shared Key කියන තැනට ඔයාට කැමති password එකක් ලබාදෙන්න. ඉදිරියේදී WiFi ජාලයට සම්බන්ධ වෙනකොට දැන් ලබාදුන්නු SSID එකයි Key එකයි ලබාදීලා තමයි connect වෙන්න ඕනෙ.

අන්තිමට page එකේ පහළ තියන save button එක click කරලා browser එක close කරන්න.



Reset කිරීම


තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හදිස්සියෙ වත් router එකට දාපු password එක එහෙම අමතක උනොත් අපිට ඒක reset කරගන්නත් පුළුවන් ක්‍රමයක් තියනවා. Router එකේ යට පැත්ත හරවලා බලන්න. මෙන්න මේ විදිහෙ පොඩි reset button එකක් දැකගන්න පුළුවන් වෙයි. මුලින්ම router එක ON කරන්න. ඊට පස්සෙ පෑනක් වගේ දෙයක් පාවිච්චි කරලා මේ පොඩි reset button එක තත්පර 5ක් විතර press කරගෙන ඉඳලා අතහරින්න. දැන් router එක reset වෙලා ඇති.




හරි. මේ පෝස්ට් එක ටිකක් දිග වැඩි උන නිසා මේක මෙතනින් නවත්තන්න වෙනවා. WiFi ජාලය සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න භාවිතා කරන්න ඕනෙ ආරක්ෂක උපක්‍රම ටික මෙතනින් කියවන්න. අනිවාර්‍යයෙන්ම කියවන්න. ඒක ගොඩක් වැදගත්.