Saturday, October 25, 2014

SLT broadband router එක තනිවම configure කරගනිමු








කොහොමද යාළුවනේ?? ටික දවසක නිහඬතාවයකින් පස්සෙ ආපහු බ්ලොග් එක පැත්තෙ ආවෙ ඔයාලාට ගොඩක් වටින ප්‍රායෝගික ගැටළුවකට විසඳුමත් අරගෙන. පහුගිය දවස් ටිකේ විවිධ පරිගනක උපකාරක සමූහ කිහිපයකම නිතර නිතර දකින්න ලැබුන ප්‍රශ්ණයක් තමයි අපි ADSL Router එකක් නිවැරදිව configure කරගන්නෙ කොහොමද කියන එක සහ ඒ ආශ්‍රිත විවිධ ගැටළු. ඉතින් අද පෝස්ට් එකෙන් ඔයාලට කියලාදෙන්න යන්නෙ ඒ ගැන.

අපේ රටේ (ශ්‍රී ලංකාවෙ) ඉතින් ADSL කිව්වොත් SLT විතරයිනෙ තියෙන්නෙ. ඉතින් ADSL Internet සබඳතාවයක් භාවිතා කරන අපේ යාළුවො වැඩි දෙක් පාවිච්චි කරන්නෙ SLT ආයතනයෙන්ම ලබාදෙන ZTE zxv10 w300 කියන මාදිලියෙ router එක. ඒ නිසා මේ පෝස්ට් එකෙන් කියලාදෙන්න යන්නෙ ZTE zxv10 w300 කියන මාදිලියෙ router එකක් අන්තර්ජාලය සහ WiFi network එක සඳහා නිවැරදිව configure කරගන්න ආකාරය.



උපකරණය හඳුනාගනිමු


හරි. මේ පෝස්ට් එක කියවලා ඉවර වෙනකොට ජීවිතේ කවදාවත් router එකක් දැකලා නැති කෙනෙකුට උනත් වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න ඕනෙ කියන එකයි මගේ අරමුණ. ඒ නිසා Configure කරන්න කලින් අපි අපේ router එක භෞතිකව හඳුනාගනිමු.


අපි මේ කතා කරන්න යන ZTE zxv10 w300 router එකක ඉදිරිපස සහ පසුපස පෙනුම මෙන්න මේ විදිහට දැකගන්න පුළුවන්.

ඉදිරිපස පෙනුම


පසුපස පෙනුම





අපි අපේ router එක configure කරන්න කලින් මුලින්ම කරන්න ඕනෙ දේ තමයි අපේ cables (රැහැන්) ටික නිවැරදිව router එකට plug කරගන්න එක. ඒ නිසා මුලින්ම ඒ ගැන ටිකක් කතා කරමු. කලින් රූපසටහනේ තිබුනු විදිහට router එකේ පිටිපස්සෙ විවිධ ස්විච් කිහිපයක් සහ ports කිහිපයක් දැකගන්න පුළුවන්. මුලින්ම ඒ ගැන පොඩි අවබෝධයක් ලබාගෙන ඉදිරියට යමු. 




මේ රූපසටහනේ හැටියට එක් එක් අංක වලට අදාලව මෙන්න මේ විදිහට අපේ router එක හඳුනාගන්න පුළුවන්.

1)     Power connector - මෙතනට තමයි අපේ router එකේ විදුලිබල සැපයුම ලබා දෙන්න ඕනෙ. Router එකත් එක්ක ලැබෙන කුඩා power pack එක ප්‍රධාන විදුලියට සම්බන්ධ කරලා අනිත් කෙළවර මෙතනට සම්බන්ධ කරන්න ඕනෙ.

2)     Power button - විදුලි බලය ලබාදුන්නට පස්සෙ router එක on/off කරන්නෙ මේ switch එකෙන්

3)     WiFi On/Off switch - අපේ router එකේ WiFi පහසුකම තියන නිසා ඒක On/Off කරන්නෙ මේ switch එකෙන්. (configuration settings වලිනුත් WiFi on/off කරන්න පුළුවන්)

4)     LAN ports - මේ තියෙන්නෙ අපේ පරිගනකය router එකට සම්බන්ධ කරන්න භාවිතා කරන port එක. CAT5 cable එකක් ඔස්සේ RJ45 සම්බන්ධකයක් කරහා පරිගනකය router එකට සම්බන්ධ කරන්න ඕනෙ. මේ මාදිලියෙ නම් LAN ports 4ක් ලබාදීලා තියනවා. (මේකට අවශ්‍ය එක් cable එකක් router එකත් සමග ලැබෙනවා. අමතරව ඕනෙ නම් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්)


5)     LINE - මේ තියෙන්නෙ අපේ ADSL සබඳතාවය router එකට සම්බන්ධ කරන port එක. SLT එකෙන් ඔයාලගෙ නිවසට ලබා දීලා තියන රැහැන Splitter කියන උපකරණයෙන් රැහැන් දෙකකට වෙන් වෙනවා. ඊට පස්සෙ එයින් එකක් දුරකතනය සම්බන්ධ කරන්න භාවිතා කරනවා. අනිත් රැහැන තමා ගෙනත් මෙතනට සම්බන්ධ කරන්න ඕනෙ. (බොහෝ විට Splitter උපකරණය දක්වා වැඩ ටික දුරකතන සමාගමෙන් සිදු කරන නිසා ඔයාලට තියෙන්නෙ එයාලා ලබාදීලා තියන ADSL රැහැන කෙලින්ම මෙතනට plug කරන එක. මේක RJ11 වර්ගයේ සම්බන්ධකයක්)


6)     WiFi antenna - මේ තියෙන්නෙ අපේ router එකේ WiFi ඇන්ටනාව. මේක හරහා තමයි WiFi signal සම්ප්‍රේශණය වෙන්නෙ. වැඩි ප්‍රදේශයකට WiFi ආවරණය ලබාගන්න නම් ඕනෙ ප්‍රභල ඇන්ටනාවක් භාවිතා කරන්න පුළුවන්.


නිවැරදිව cables ටික plug කරගත්තට පස්සෙ අන්තිමට power cable එක plug කරලා switch එක On කරන්න. දැන් ඔයාලගෙ router එකේ ඉස්සරහ තියන Power කියන LED එක රතු පාටින් දැල්විලා තිබිලා ඊට පස්සෙ කොළ පාට වෙයි. ඒ කියන්නෙ router එක නිවැරදිව On උනා කියන එක.

ඊට පස්සෙ ඔයාගෙ ADSL සබඳතාවය සහ පරිගනකයට සම්බන්ධ කරලා තියන LAN සබඳතාවය නිවැරදිව ක්‍රියාත්මක වෙනවනම් DSL සහ LAN කියන LED දෙකත් කොළ පාටින් දැල්වෙයි. (LAN LED එක නිවි නිවී දැල්වීම සාමාන්‍ය දෙයකි. DLS LED එක ක්‍රියාත්මක නොවේ නම් සබඳතාවයේ දෝශයක්.).
WLAN කියන්නෙ WiFi indicator එක. ඒක කොළපාටින් දැල්වෙයි. එහෙම නැත්නම් router එක පිටිපස්සෙ තියන WiFi switch එක (රූප සටහනේ අංක 3) එක පාරක් press කරන්න. එතකොට WLAN කියන LED එකත් දැල්වෙන්න පටන්ගනී.

නමුත්,  router එක ඉදිරිපස තියන Internet කියන LED එක “රතු පාටින්” දැල්වෙන්න පටන්ගනී. ඒ කියන්නෙ ඔයා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නෑ කියන එක. නිවැරදිව අන්තර්ජාලයට සම්බන්ධ උනාම මේ indicator එකත් අනිත් ඒවා වගේ “කොළ” පාට වෙන්න ඕනෙ. නමුත් router එකේ Internet settings ටික නිවැරදිව සකස් කරන තෙක් අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා දැන් බලමු කොහොමද හරියට Internet settings ටික configure කරගන්නෙ කියලා.


අන්තර්ජාල සැකසුම්


මේ සඳහා මුලින්ම අපි router එකට ලොග් වෙන්න ඕනෙ. කරන්න තියෙන්නෙ හරිම පහසු දෙයක් . ඔයාගෙ web browser එක open කරලා address bar එකේ 192.168.1.1 කියලා type කරලා enter key එක press කරන්න.
 





දැන් ඔයාට ලැබෙයි මෙන්න මේ වගේ පොඩි pop-up window එකක්
 



User name සහ Password කියන දෙකටම admin කියලා type කරලා “Log In” කියන button එක click කරන්න. (මේ password එකට log වුනේ නැත්නම් ඔයාගෙ router එකේ password එක වෙනස් කරලා. එහෙම උනොත් router එක reset කරන්න වෙනවා. ඒක කරන විදිහ post එකේ අන්තිමට දාන්නම්. පහලට ගිහින් බලන්න.)

මේ විදිහට  User name සහ Password ලබාදුන්නට පස්සෙ ඔයාලට router එකට log වෙන්න පුළුවන්. එහෙම log උනාම ඔයාලට මුලින්ම මෙන්න මේ වගේ page එකක් දැකගන්න ලැබෙයි. මේ දර්ශනය වෙන්නෙ ඔයාලගෙ router එකේ විවිධ තොරතුරු. නමුත් ඒ හැම එකක් ගැනම මේ ලිපියෙන් කතාකරන්න ගියොත් ලිපිය ගොඩක් දිග වෙන නිසා Internet settings configure කරගන්න විදිහ විතරක් කියන්නම්. මුලින්ම රූප සටහනේ පෙන්වලා තියන විදිහට Interface Setup කියන setting එක click කරන්න.
 


                                          
දැන් ඔයාලට මෙන්න මේ විදිහට Interface setup page එක දැකගන්න පුළුවන් වෙයි.



        
මුලින්ම page එකේ දෙවනියට තියන Status කියන සැකසුම Activated කියන option එක තෝරන්න ඕනෙ.

ඊට පස්සෙ කහ පාටින් පෙන්වලා තියන විදිහට Servicename කියන තැනට ඔයාලගෙ අන්තර්ජාල සේවා සපයන ආයතනයේ නම ලබාදෙන්න ඕනෙ. Sri Lanka Telecom භාවිතා කරනවනම් slt කියලා type කරන්න.

Username සහ Password කියන තැන් වලට SLT එකෙන් ඔයාලට ලබාදුන්න Username එක සහ Password එක ලබාදෙන්න ඕනෙ. ඒක මතක නැත්නම් 1212 අංකයෙන් SLT පාරිභෝගික සේවයට දුරකතන ඇමතුමක් අරන් දුරකතන අංකය කියලා ඒකට අදාල Username සහ Password ලබාගන්න පුළුවන්. ඒ ලබාගත්තු Username සහ Password එක ඉහත රූපසටහනේ දක්වලා තියන විදිහට අදාල කොටු වලට යොදන්න.

අනිත් settings තියන විදිහටම තියන්න. ඒවා වෙනස් කරන්න යන්න එපා. දැන් මේ page එක පහලටම scroll කරලා page එකේ පහළ තියන save button එක click කරන්න.

ඔයා ලබාදුන්නු Username එක සහ Password එක නිවැරදි නම් තත්පර කිහිපයක් ඇතුලත router එකේ ඉදිරිපස තියන Internet කියන LED එක කොළපාට වෙන්න ඕනෙ. (එහෙම උනේ නැත්නම් ආයෙත් 1212 අංකයෙන් SLT එකට කතා කරලා කියන්න. බොහෝ විට ඔයා ලබාදුන්නු Username සහ Password එකේ තමා වැරැද්ද තියෙන්න පුළුවන්.)


WiFi ජාලය නිර්මාණය කරමු



හරි. මේ වෙනකොට ඔයාගෙ router එක නිවැරදිව Internet එකට connect වෙලා තියෙන්න ඕනෙ. අවශ්‍ය නම් කැමති web site එකකට ගිහින් හරියට වැඩකරනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ගැටළුවක් ඇති උනොත් පහලින් comment එකක් දාලා අහන්න.

එහෙනම් අපේ ඊලඟ පියවර තමයි router එකේ wireless access point එක configure කරගැනීම. ඇත්තටම මේකත් ඉතාම සරළ වැඩක්. මුලින්ම wireless settings page එකට යන්න ඕනෙ. ඒකට Interface setup page එකේ ඉහල තියන wireless කියන tab එක click කරන්න. (wireless settings වලට යන්න කලින් සකස් කරගත්තු internet settings ටික save කරන්න අමතක කරන්න එපා.)







දැන් ඔයාලට මෙන්න මේ විදිහට wireless settings page එක දැකගන්න පුළුවන් වෙයි.





මුලින්ම තියන Access Point කියන setting එක Activated තත්වයට පත් කරගන්න ඕනෙ.  පෝස්ට් එකේ මුලින්ම කිව්ව විදිහට router එකේ පිටිපස්සෙ තියන WiFi switch එක press කරන්නෙ නැතුව WiFi On කරන්නෙ මෙන්න මේ විදිහට. දැන් අනිත් සැකසුම් හදාගන්න විදිහ බලමු.

Page එකේ මැද හරියට වෙන්න තියන Broadcast SSID කියන තැනට Yes තෝරන්න. ඊට පස්සෙ SSID කියලා තියන තැනට ඔයාට කැමති නමක් ලබාදෙන්න. මින් ඉදිරියට ඔයාගෙ WiFi network එක හඳුනාගන්නෙ ඒ නමින්. එතනම පහල තියන Authentication type කියන තැනට WPA2-PSK කියන එක තෝරන්න.

දැන් පහල තියන Pre-Shared Key කියන තැනට ඔයාට කැමති password එකක් ලබාදෙන්න. ඉදිරියේදී WiFi ජාලයට සම්බන්ධ වෙනකොට දැන් ලබාදුන්නු SSID එකයි Key එකයි ලබාදීලා තමයි connect වෙන්න ඕනෙ.

අන්තිමට page එකේ පහළ තියන save button එක click කරලා browser එක close කරන්න.



Reset කිරීම


තව පොඩ්ඩෙන් අමතක වෙනවා. හදිස්සියෙ වත් router එකට දාපු password එක එහෙම අමතක උනොත් අපිට ඒක reset කරගන්නත් පුළුවන් ක්‍රමයක් තියනවා. Router එකේ යට පැත්ත හරවලා බලන්න. මෙන්න මේ විදිහෙ පොඩි reset button එකක් දැකගන්න පුළුවන් වෙයි. මුලින්ම router එක ON කරන්න. ඊට පස්සෙ පෑනක් වගේ දෙයක් පාවිච්චි කරලා මේ පොඩි reset button එක තත්පර 5ක් විතර press කරගෙන ඉඳලා අතහරින්න. දැන් router එක reset වෙලා ඇති.




හරි. මේ පෝස්ට් එක ටිකක් දිග වැඩි උන නිසා මේක මෙතනින් නවත්තන්න වෙනවා. WiFi ජාලය සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න භාවිතා කරන්න ඕනෙ ආරක්ෂක උපක්‍රම ටික මෙතනින් කියවන්න. අනිවාර්‍යයෙන්ම කියවන්න. ඒක ගොඩක් වැදගත්.




Windows 8 ගැන සිංහලෙන් දැනගමු

Monday, August 29, 2011

Windows 8 ගැන සිංහලෙන් දැනගමු

අද මට Windows 8 ගැන කියන්න හිතුනේ, මේ මෙහෙයුම් පද්ධතිය 2012 වර්ශයේදි එළිදැක්වෙන නිසයි. Microsoft සමාගම විසින් නිපදවන අළුත්ම Windows සංස්කරණය වෙන්නේ මෙයයි. මේ වන විටනම් Windows 8 ගැන එහෙන් මෙහෙන් විවිධ කතා රාශියක් ඔබ අසා ඇති. ඒසේ එක එක කතා ඇති වීමට  ප්‍රධාන හේතුවක් වන්නේ Microsoft සමාගම විසින් මේ පිලිබදව තොරතුරු හෙලි නොකිරිමයි. ඒ නිසා සමහරවිට ඔබ දැන ගෙන ඇති තොරතුරු බොරු තොරතුරු වෙන්නත් පුළුවන්.


නමුත් මම මේ ලිපියේ සදහන් කරන්න යන්නේ Microsoft සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටිව් බැල්මර් විසින් 2011 ජනවාරි වල ඇමරිකාවේ ලාස් වේගාස් වල පැවති CES - Consumer Electronic Show ප්‍රදර්ශනයේ හෙලිකල තොරතුරු ටිකකි. ඒ නිසා මේ තොරතුරු වැරදිමට හේතුවක් නැත. ඔහු විසින් සදහන් කරන ආකාරයට මේ මෙහෙයුම් පද්ධතිය සදහා විශේෂ මයික්‍රෝචිප් වර්ගයක් භාවිතා කරයි. ඒ කියන්නේ මේ මෙහෙයුම් පද්ධතිය දැනට තිබෙන ARM චිප් ආකෘතියට අනුව නොව Soc - System on a chip නම් අලුත් චිප් ආකෘතියකට ගැලෙපෙන බවයි.
steve ballmer - microsoft

ඔහු මේ තොරතුර හරි පිට කෙරුවේ එම ප්‍රදර්ශනයේදි නොකියාම බැරි හින්දා විය යුතුය. මොහු මේ Windows මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන ගුණාංග හෙලි කිරිමෙන් වැළකි සිටියහ. එය Microsoft සමාගම විසින් ගන්නා ලද දැඩි තීන්දුව බව Microsoft සමාගමේ විධායක නිලධාරි ස්ටීව් බැල්මර් විසින් ප්‍රකාශ කරන ලදි.
තවද Microsoft නෙදර්ලන්ත සමාගම විසින් Windows 7 නිකුත් කර අවුරුද්දක් ගත වු මොහොතේ, ඒ කියන්නේ 2010 ඔක්තෝබර් 22 වෙනිදා කියා සිටියේ මීලග මෙහෙයුම් පද්ධතිය 2012 ඔක්තෝබර් මාසයේදි නිකුත් කරන බවයි.

Windows Server Release Cadence

සාමාන්‍යයෙන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් එළිදක්වන්නේ අදියර තුනකිනි. ඒ වෙනුවෙන් මාස හතක කාලයක් ගනී. එයින් දෙමසකට පසුවය මෙහෙයුම් පද්ධතිය වෙළෙද පොලට එන්නේ. ඒ අනුව 2012 ඔක්තෝබර් මස මේ මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන්නනම්, 2012 ජනවාරි වන විට Beta සංස්කරණයත්, 2012 අප්‍රේල් වන විට RC සංස්කරණයත්, 2012 ජූලි වන විට RTM සංස්කරණයත් ඉදිරිපත් කල යුතුය.
winreview.ru වෙබ් අඩවිය විසින් Microsoft සමාගමේ ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත් කර කියා සිටියේ මේ වන විට එම අදියර තුනෙන් දෙකක්ම නිර්මාණය කර අවසන් බවයි. එම නිසා බොහො විට Windows 8 හි Beta සංස්කරණය 2012 ජනවාරි මාසයේදි එළි දක්වයි.


හොදයි අපි දැන් Windows මෙහෙයුම් පද්ධති වල ඉතිහාසය ගැන ටිකක් හොයලා බලමු.


The History Of Windows
රූපය පැහැදිලි නැතිනම් රූපය මත Click කරන්න

1985 න් පසු Windows සංස්කරණ 12ක් මේ වන විට පැමිණ තිබේ.එහෙත් ඒවා තාක්ෂණික අතින් ගත් විට අයත් වෙන්න මුලික සංස්කරණ 7 කටයි. Windows 1.0, 2.0 සහ 3.0 ට පසු පැමිණි Windows NT හැදින්වුයේ Wndows 3.1 ලෙසය. ඉන්පසු ආ Windows 95 යනු Windows 4.0  යි. 98,98 SE, සහ මිලේනියම්ද Windows 4.0 හි විවිධ සංස්කරණයන්ය. Windows 2000 යනු 5.0 වැන්නයි.  Windows Vista යනු 6.0 වන අතර Windows 7 යනු Windows මෙහෙයුම් පද්ධතිවල 7.0 වැන්නයි. 2012 දි මෙහි Windows 8.0 හෙවත් Windows 8 එන්නට නියමිතයි.

තව ඔබට කීමට අපුරු කතාවක් ඇත. ඒ තමයි Windows 8 කියලා කියන්නේ Microsoft සමාගම විසින් දුන් නමක් නොවේ. ඔවුන් මෙය නම් කරන්නේ Windows vNext කියලයි. නමුත් මේ වන විටත් මෙහි නම Windows 8 නමින් ප්‍රසිද්ධ වෙලා තියෙන නිසා සමහර විට ඔවුනුත් මෙය Windows 8 නමින් නම් කරයිද කියලා තාමත් දන්නේ නෑ. ඒ කියන්නේ තාමත් මේ සදහා නිල වශයෙන් නාමක් දී නැත.
Windows 7 යන නම 2008 ඔක්තෝබරයේ ප්‍රසිද්ධ කරමින් Microsoft සමාගමේ Windows නිෂ්පාදන පිළිබද උප සභාපති මයික් නාෂ් කිවේ මීළග අලුත්ම මෙහෙයුම් පද්ධතියේ නම වනු ඇත්තේ Windows 8 බවයි.

අලුතින් එන Windows 8 හි මොන මොන ගුණාංග දරනවාද කියලා හරියටම දැන ගන්නට නොහැකි වුනත් Microsoft සමාගමෙන් නිකුත් වෙන ආරංචි අනුව පහත් ගුණාංග තියෙන බව කියවෙනවා.

    User Interface එක අලුත් වෙලා...


      Windows 8 User Interface

      2010 දෙසැම්බරයේදි Windows8italia නැමති ඉතාලි වෙබ් අඩවිය පෙන්නා දෙන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් අලුත් ග්‍රැ‍ෆිකල් යුසර් ඉන්ටෆේස් (GUI) එකක් හදුන්වාදෙනවාලු. මේ ග්‍රැ‍ෆිකල් යුසර් ඉන්ටෆේස් එක හදුන්වන්නේ වින්ඩ් (Wind) නමිනුයි. එය Support කරන්නේ බිට් 64 පරිගණකයක් සදහා වන අතර 170MB ග්‍රැ‍ෆිකල් මතකයක් ඒ සදහා අවශ්‍ය වේ.
      මෙය පැරණි Moniter වල පවා හොදින් පෙනෙන ආකාරයෙන් ත්‍රිමාණ ගුණාංග මෙයට එක්කෝට ඇත.

        මෙහෙයුම් පද්ධතිය බිට් 128 යි...

          Windows 7 මෙන් බිට් 32 සහ 64 මෙහෙයුම් පද්ධතියක් නොව Windows 8 හි ඇත්තේ බිට් 64 සහ බිට් 128 මෙහෙයුම් පද්ධතියකි.

            හැම පරිගණකයකටම ගැලපෙනවා...

              Windows 8 මෙහෙයුම් පද්ධතිය ලැප්ටෝප්, ඩෙක්ස්ටොප් සහ  ටැබ්ලට් යන පරිගණක වර්ග 3 ටම ගැලපෙන සේ නිර්මාණය කොට තිබේ.

                මාර Speed එකේ බූට් වෙනවා...

                  Windows 8 මෙහෙයුම් පද්ධතිය, Windows 7 වලටත් වඩා වේගයෙන් තත්පර කීපයකින් බූට් වෙන ආකාරයෙන් සකසා තිබේ.

                    අපට අළුත් තාක්ෂණයක්...

                      මුහුණු හදුණාගැනිමේ තාක්ෂණය (Facial Recognition) යොදා ගෙන Computer එකට ලොග් විය හැකි ක්‍රමයක් Windows 8 හදුන්වාදෙන බවට ආරංචි තිබේ. මෙහිදි පරිගණකය පාවිච්චි කරන්නා එහි වෙබ් කෑම් එක වෙත බැලිය යුතුය. ව්විට මුහුණු හදුනාගෙන පරිගණකය ක්‍රියාත්මක වෙයි. මේ ආකාරයට User Account වලට Password වෙනුවට ඒ ඒ තැනැත්තාගේ ඡායාරූපය ලබා දිය හැක. එහිදි පරිගණකය ඉදිරියේ සිටින තැනැත්තා හදුනාගෙන ඔහුගේ User Account එකට විවෘත කර දෙයි.

                        ඇප් ස්ටෝර් සහය...

                          Microsoft සමාගම පවසන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතියට ගැලපෙන මෘදුකාංග මිලදි ගැනිමට විශේෂ වෙබ් අඩවියක් නිකුත් කරයි. එම වෙබ් අඩවියේ නොයෙක් මෘදුකාංග නිෂ්පාදකයෝ Windows 8 සමග වැඩ කළ හැකි මෘදුකාංග විකුණති. Online ක්‍රමයට ඒවා මිලදිගෙන Install කරගන්නට පුළුවන. මම හිතන ආකාරයට මේ වැඩ පිළිවෙල දියත් කීරීමට හේතුවක් වී ඇත්තේ වර්ථමානයේ සිදූවන Software CD/DVD හොරෙන් පිටපත් කර විකිණිම නතර කිරිමට විය හැක.

                            නව තාක්ෂණයේ මුසුව...

                              Microsoft සමාගම සදහන් කරන ආකාරයට Windows 8 මෙහෙයුම් පද්ධතිය සමග අළුත් චිප් සෙට් අවශ්‍ය වේ. ඒවා වැඩ කරනු ඇත්තේ USB 3.0 උපාංග, Bluetooth 3.0 උපාංග සහ නවතම ත්‍රිමාන තාක්ෂණය සමගය. මේ Windows 8 මෙහෙයුම් පද්ධතිය නව තාක්ෂණය භාවිතයට උචිතවිම අතින් සියලුම මෙහෙයුම් පද්ධති වලට වඩා ඉදිරියෙන් සිටී.

                                Windows 8 වෙලෙද පොලට එන්නේ එතරම් හොද කාලයක නම් නෙවෙයි....


                                  Windows OS Market Share

                                  Windows 8 මෙහෙයුම් පද්ධතිය නිකුත් වෙන්නේ එතරම් හොද කාලයක නෙවෙයි කියලයි මගේ අදහස. මොකද මේ මෙහෙයුම් පද්ධතියත් එක්ක තරග කිරීමට තවත් අළුත් මෙහෙයුම් පද්ධති ගණනාවක්ම ලෑස්ති වෙනවා. අපි දැන් පොඩ්ඩක් ඒ මෙහෙයුම් පද්ධති මොනවද කියලා බලමු.
                                  ඇපල් සමාගම දැන් අලුත් මෙහෙයුම් පද්ධතියන් දියුණු කරමින් සිටී. ඒ OS X Lion නැමති මෙහෙයුම් පද්ධතියයි. තවද Google සමාගම නොමිලේ Chrome OS මෙහෙයුම් පද්ධතිය මහජනයාට නිකුත් කරන්නට බලාගෙන සිටියි. උබුන්‍ටු ඇතුළු ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති දියුණු වෙනවා වගේම ඒවා මහජනයාගේ ප්‍රසාදයද දිනාගනිමින් සිටී. මේ අතරේ තමයි Windows 8 එන්නෙත්. එම නිසා මෙතන හොද තරගයක් ඇතිවෙයි. මේ තරගය ජය ගැනිමට තමයි Microsoft සමාගමත් බලාගෙන ඉන්නේ. ඒ නිසා තමයි මේ මෙහෙයුම් පද්ධතියේ ගුණාංග ගැන වුවත් වැඩිපුර ආරංචියක් පිට කිරීමට Microsoft සමාගම මැලිවී තිබෙන්නේ.

                                  කෙසේ වෙතත් මහජනයාගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකිවු මෙහෙයුම් පද්ධතිය අංක 1 කේ මෙහෙයුම් පද්ධතිය වෙන බවට කිසිදු සැකයක් නෑ. මට මේ මොහොතේ අනාවැකියක් කීමට පුළුවන. එය මොන සමාගමෙන් නිපදුවත් එම සමාගම ඉදිරියේදි අංක 1 සමාගම බවට පත්වෙනවා නිසැකය.

                                  Windows Live හි ප්‍රධානී ස්ටීවන් සිනොෆ්ස්කි පැවසුවේ Windows 8 මෙහෙයුම් පද්ධතියට උචිත වන සේ මයික්‍රොචිප් නිර්මාණය කිරීමට ලොව ප්‍රකට සමාගම් සමග දැනටමත් වැඩ අරඹා ඇති බවයි.

                                  steven sinofsky

                                  කෙසේ වෙතත් අඩු ප්‍රශ්න ඇති, වෛරස් වලින් සම්පුර්ණයෙන්ම වැලකී සිටිය හැකි මෙහෙයුම් පද්ධතියක් ඒවී යැයි බලාපොරොත්තුවෙන් අපි සිටිමු.

                                  ඒ වගේම Microsoft සමාගම විසින් Video එකක් නිකුත් කර තිබෙනවා Windows 8 ගැන. ඒක පහතින් බලා ගන්න.




                                  ඔබට තවත් දේ දැන ගැනිමට අවශ්‍ය නම් පිවිසෙන්න Windows 8 News  නැමති වෙබ් අඩවියට. එය දිනෙන් දින Windows 8 වල තොරතුරු සොයමින් Update වන වෙබ් අඩවියකි.

                                  Windows 8 News

                                  නමුත් මම මුළින් කීව වෙබ් අඩවියේ පළවෙන දේවල් සම්බන්ධයෙන් වගකීමක් ගන්නේ නෑ. මොකද ඒක Windows 8 වල නිළ වෙබ් අඩවිය නොවන නිසා. ඔබට ඒ තොරතුරු ගැන සැකයක් ඇත්නම් Microsoft සමාගමේ නිළ වෙබ් අඩවියෙන් තොරතුරු ගන්න. වෙනත් වෙබ් අඩවි වල බොරු තොරතුරු පළවුනත් Microsoft සමාගමේ නිළ වෙබ් අඩවියේ එසේ බොරු තොරතුරු පළවෙන්නේ නැත.

                                  Microsoft Officail Web Site

                                  Windows 8

                                  පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය


                                                                     අන්තිම ලිපිය දැම්මට පස්සෙ ආයෙත් ලිපියක් දාන්න ටිකක් පරක්කු වුණා. අන්තිමට දාපු ලිපියෙන් අපි පරිගණකයේ ඉතිහාසය ගැන කෙටියෙන් කතා කළා. ඒ වගේම ඒකෙන් පොරොන්දු වුණානෙ පරිගණක වර්ගීකරණය දානව කියල. ඉතින් ඒ පොරොන්දුව ඉෂ්ට කරන ගමන් මේ දාන්න යන්නෙ පරිගණක වර්ගීකරණයෙ පළවෙනි ලිපිය. පරිගණක එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. එයින් ප්‍රධානම ක්‍රමය තමයි පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය. පරිගණක වර්ගීකරණයේ විභාගෙදි වැඩියෙන්ම ප්‍රශ්න අහන්නෙ මේ පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණයෙන්.

                                                                     මේ පරම්පරාව අනුව වර්ගීකරණය දාන්න හැදුවට මේක මහ අවුල් ජාලයක්. අපේ රටේ අධ්‍යාපනේ ගැන ඉතින් අමුතුවෙන් කතා කරන්න ඕන නෑනෙ. සාමාන්‍ය පෙළට උගන්නන පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණයෙ පරම්පරා අතර තියෙන කාල පරාසය නෙවෙයි උසස් පෙළ විෂය නිර්දේශයෙ තියෙන්නෙ. බලාගෙන ගියහම මේ විෂය නිර්දේශ හදන ආචාරියොන්ට වඩා අපි මේව ගැන දන්නව. හ්ම්... මොනව කරන්නද? මට බෑ බොරු කරන්න. මම සාමාන්‍ය පෙළ, උසස් පෙළ විෂය නිර්දේශ දෙකේම තියෙන විදිහට දාන්නම්. වරහන් ඇතුලෙ දාන්නෙ උසස් පෙළ විෂය නිර්දේශයෙ තියෙන විදිහ.

                                                                     ලෝකයේ පරිගණක පරම්පරා පහක් යටතේ වර්ග කරන්න පුළුවන්. විෂය නිර්දේශයෙ නම් තියෙන්නෙ හතරයි. එකක් මං ගානෙ කියල හිතා ගන්නකො! :)

                                  පළමු පරම්පරාව | 1939 - 1954 (1950 ට පෙර)
                                  • භාවිතා කළ තාක්ෂණය / උපකරණය: රික්ත නල (vaccum tubes)
                                  • මතකයේ ප්‍රමාණය (RAM): 1KB - 8KB
                                  • දත්ත ගබඩා කළ ක්‍රමය: සිදුරු කාඩ්පත්
                                  • එකවර පාවිච්චි කළ හැකි වූ පුද්ගලයින් ගණන: එක් අයෙක් පමණි.
                                  • වාසි: නොයෙකුත් ගණනය කිරීම් සඳහා උපයෝගී කරගත්තා. එවකට ගණනය කිරීම් සිදුකරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික් උපකරණයක් තිබ්බෙ නෑ.
                                  • අවාසි: ප්‍රමාණයෙන් ඉතා විශාල වීම, මිල ඉතා අධික වීම, ක්‍රියාත්මක කිරීමට විශාල විදුලි බලයක් අවශ්‍ය වීම, ගණනය කිරීම් වල නිවැරදි බව අඩු වීම.
                                  • උදාහරණ: ENIAC, UNIVAC
                                  • වෙනත්: මේ පරම්පරාවෙ පරිගණක දුවවන්න පාවිච්චි කළේ යන්ත්‍ර භාෂාව (machine language). ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. මේවට අද කාලෙ වගෙ මෙහෙයුම් පද්ධතියක් තිබුණෙත් නෑ.
                                  දෙවෙනි පරම්පරාව | 1954 - 1959 (1950 - 1960)
                                  • භාවිතා කළ තාක්ෂණය / උපකරණය: ට්‍රාන්සිස්ටර් (transistors)
                                  • මතකයේ ප්‍රමාණය (RAM): 4KB - 64KB
                                  • දත්ත ගබඩා කළ ක්‍රමය: කැසට් පටි, චිත්‍රපට සඳහා යොදාගන්නා පටි (magnetic tapes)
                                  • එකවර පාවිච්චි කළ හැකි වූ පුද්ගලයින් ගණන: එක් අයෙක් පමණි.
                                  • වාසි: ප්‍රමාණය, මිල, වේගය, මතකය, නිවැරදි බව පළමු පරම්පරාවට වඩා අඩු වීම, අවශ්‍ය විදුලි බලය අඩු වීම.
                                  • අවාසි: තැන්පත් කිරීමට වායු සමනය කළ (A/C) කාමර අවශ්‍ය වීම, මෙහෙයුම් පද්ධතියක් නොමැති වීම.
                                  • උදාහරණ: SEAC, IBM Model 604, Bendix G-15A
                                  • වෙනත්: මේ පරම්පරාවෙ පරිගණක දුවවන්න පාවිච්චි කළේ සැකසුම් භාෂාව (assembly language).
                                  තෙවෙනි පරම්පරාව | 1959 - 1971 (1960 - 1970)
                                  • භාවිතා කළ තාක්ෂණය / උපකරණය: කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ IC (Intergrated Circuits)
                                  • මතකයේ ප්‍රමාණය (RAM): 32KB - 4MB
                                  • දත්ත ගබඩා කළ ක්‍රමය: චුම්බක තැටි හා බෙර (magnetic disks and drums)
                                  • එකවර පාවිච්චි කළ හැකි වූ පුද්ගලයින් ගණන: එකවර කිහිප දෙනෙකුට පාවිච්චි කළ හැකි විය.
                                  • වාසි: ප්‍රමාණය, මිල, වේගය, මතකය, ගණනය කිරීම්වල අවිනිශ්චිත බව පළමු පරම්පරා දෙකටම වඩා අඩු වීම, මෙහෙයුම් පද්ධතියක් භාවිතා වීම, පාලනය සඳහා උසස් මට්ටමේ භාෂාවන් භාවිතා වීම. (high level languages)
                                  • අවාසි: නිෂ්පාදනයේදී ඇතිවූ වැරදි හා දුර්වලතා ඇරුණම මේවයෙ කියන්න තරම් අවාසියක් තිබ්බෙ නෑ.
                                  • උදාහරණ: PDP - 1
                                  • වෙනත්: IC භාවිතයට පැමිණීමත් එක්ක පරිගණක ප්‍රමාණයෙන් නොහිතපු විදිහට කුඩා වෙන්න පටන් ගත්තා.
                                  සිව්වෙනි පරම්පරාව | 1971 සිට අද දක්වා (1970 සිට අද දක්වා)
                                  • භාවිතා කළ තාක්ෂණය / උපකරණය: ක්ෂුද්‍ර පිරිසකසන / LSI / VLSI (microprocessors)
                                  • මතකයේ ප්‍රමාණය (RAM): 32MB - 8GB++
                                  • දත්ත ගබඩා කළ ක්‍රමය: දෘඩ තැටි (hard disks), ෆ්ලෑෂ් ඩ්‍රයිව්, CD, DVD, Blu-Ray
                                  • එකවර පාවිච්චි කළ හැකි වූ පුද්ගලයින් ගණන: එකවර කිහිප දෙනෙකුට පාවිච්චි කළ හැකි විය.
                                  • වාසි: ඉතා කුඩා ප්‍රමාණය, ඉතා අඩු මිල, සුපිරි වේගය හා අති විශාල මතකය, නිවැරදි බව පළමු පරම්පරා දෙකටම වඩා අඩු වීම, මෙහෙයුම් පද්ධතියක් භාවිතා වීම, පාලනය සඳහා උසස් මට්ටමේ භාෂාවන් භාවිතා වීම. (high level languages)
                                  • අවාසි: නිෂ්පාදනයේදී ඇතිවූ වැරදි හා දුර්වලතා ඇරුණම මේවයෙත් කියන්න තරම් අවාසියක් තිබ්බෙ නෑ.
                                  • උදාහරණ: පෙන්ටියම් පවුලේ පරිගණක
                                  • වෙනත්: LSI (Large Scale Intergrators) චිප් ඇතුළෙ උපකරණ 100ක් 200ක් වගේ අන්තර්ගත කරල තිබ්බත් VLSI (Very Large Scale) Intergrators) චිප් ඇතුළෙ 4000 ඉඳලා මිලියන ගණනක් වෙනකම් උපකරණ අන්තර්ගත කරල තියෙනවා. ඔය උපකරණ කියල කිව්වෙ ට්‍රාන්සිස්ටර් වගේ ඉලෙක්ට්‍රොනික් ගැජට් වලට.
                                  පස්වෙනි පරම්පරාව | අද සිට ඉදිරියට

                                                                     මේ ගැන නම් GIT විෂය නිර්දේශයෙ නෑ. ඒත් O/L ICT වල තියෙනවා. අද වෙනකොට අත්හදා බලනවා මිනිසුන්ගේ මෙහෙයවීමක් නැතුව ඉබේ පාලනය වෙන පරිගණක හදන්න. ඔය චිත්‍රපටි වල තිබ්බට ඒව ඇත්තටම හදල නෑනෙ. මේ පරිගණක හදන්නෙ අපි කතා කරන භාෂා වලට ප්‍රතිචාර දක්වන්න පුළුවන් විදිහට. ඉස්සරහට අපි කතා කරල කිව්වම පරිගණක අපිට ඕන දේවල් කරල දේවි. දැනටමත් සාර්ථක වෙලා තියෙන රොබෝ තාක්ෂණය මේකට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. 

                                  තොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුව පරිගණක වර්ගීකරණය


                                  ගිය අවුරුද්දෙ GIT ගැන ලිපියක් දැම්මට පස්සෙ අද තමයි ආයෙත් ලියන්න ගිතුනෙ. මොකද මේ පාර GIT වි‍භාගෙ අත ළඟටම ඇවිල්ල නිසා. බ්ලොග් එකේ GIT ගැන මහ ගොඩක් ගිය අවුරුද්දෙ දාල නොතිබ්බත් තිබ්බ ටික වැදගත් කියල ගොඩක් අය කිව්වා. ඒ නිසයි මේ පාර ලියන අයටත් මොනවහරි ප්‍රයෝජනයක් ගන්න මේ විදිහට තවත් ලිපි ටිකක් පල කරන්නෙ. 


                                  කලින් අන්තිමට දාපු ලිපියෙ අපි කතා කළේ පරම්පරාව අනුව පරිගණක වර්ගීකරණය ගැන. අද අපි තවත් විදිහකට මේ පරිගණක වර්ග කරන්නයි යන්නෙ. ඒ තොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුව. සමහර තැන්වල තාක්ෂණය අනුව පරිගණක වර්ගීකරණය කියලත් මෙහෙයුම්, ක්‍රියාකාරී මූලධර්ම අනුව පරිගණක වර්ගීකරණය කියලත් හඳුන්වන්නෙ මේ පරිගණක වර්ගීකරණය ම තමයි. මේ යටතේ පරිගණක වර්ග 3 කට බෙදන්න පුළුවන්.

                                  • Analog computers (ප්‍රතිසම පරිගණක)
                                  • Digital computers (සංඛ්‍යාංක පරිගණක) 
                                  • Hybrid computers (දෙමුහුන් පරිගණක)

                                  Analog Computers (ප්‍රතිසම පරිගණක)


                                  • යම්කිසි ප්‍රභවයක අඛණ්ඩ මැනීමක් කරන්න මේ පරිගණක පාවිච්චි කරනවා. ඒ කියන්නෙ වෝල්ටීයතාවය, වේගය, උෂ්ණත්වය වගේ දේවල්.
                                  • ගොඩක් වෙලාවට ප්‍රතිදානය ලැබෙන්නෙ පාඨාංකයක්, ප්‍රස්තාරයක් වගේ ක්‍රමයකට. 
                                  • මේවා මිලෙන් ගොඩක් අඩු වගේම ලැබෙන ප්‍රතිදාන වල නිවැරදි බවත් ගොඩක් අඩුයි.
                                  • වාහනවල තියෙන වේග මාපකය (speedometer), හෘද ස්පන්දනය පරීක්ෂා කරන ECG scanner වගේ දේවල් මේ පරිගණක වර්ගයට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. 

                                  Digital Computers (සංඛ්‍යාංක පරිගණක) 


                                  • මේ පරිගණක දත්ත තේරුම් ගන්නෙ 0 හා 1 කියන ඉලක්කම් ආශ්‍රයෙන්. 
                                  • ඒ කියන්නෙ අපි ආදාන කරන ඕන දත්තයක් YES-NO, HI-LOW වගේ විදිහකට පරිවර්තනය කරල තමයි මේ පරිගණක ඒ දත්ත සැකසීම කරන්නෙ. 
                                  • මේ පරිගණක මිලෙන් වැඩි වුණත් ප්‍රතිදානය කරන තොරතුරු වල නිවැරදි බව වගේම වේගයත් ගොඩක් වැඩියි. 
                                  • අපි දෛනික ජීවිතයෙදි පාවිච්චි කරන්නෙත් මේ වර්ගයම තමයි.
                                  • ඊළඟට ඉදිරිපත් කරන, සිදු කරන කාර්යයන් අනුව පරිගණක වර්ගීකරණයත්, ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණයත් සිද්ධ වෙන්නෙ මේ පරිගණක වර්ගය යටතේ කියලත් මතක තියා ගන්න.


                                  Hybrid Computers (දෙමුහුන් පරිගණක)


                                  • කලින් කියපු පරිගණක වර්ග දෙකේම ලක්ෂණ මේ පරිගණක වර්ගයට අදාළ වෙනවා. 
                                  • ඩිජිටල් උෂ්ණත්වමාන, පීඩනමාන වගේ දේවල් මේ වර්ගයට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්

                                  භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය


                                  Computer and children

                                  අපි කලින් ලිපි වලින් පරම්පරාව අනුවසිදු කරන කාර්යය අනුවතොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුවපරිගණක වර්ගීකරණය කළා. මේ ලිපියෙන් අන්තිම පරිගණක වර්ගීකරණය විදිහට භෞතික ප්‍රමාණය අනුව පරිගණක වර්ගීකරණය ඉදිරිපත් කරනවා.

                                  මේ වර්ගීකරණයෙන් කොටස් වලට බෙදෙන්නෙත් තොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුව පරිගණක වර්ගීකරණයෙ තිබුණ Digital computers (සංඛ්‍යාංක පරිගණක) මයි. මේකෙදි ප්‍රධාන කොටස් 4ක් අඳුර ගන්න පුළුවන්.

                                  • Super computers (සුපිරි පරිගණක)
                                  • Mainframe computers (මහා පරිගණක)
                                  • Mini computers (මධ්‍ය පරිගණක)
                                  • Micro computers (ක්ෂුද්‍ර පරිගණක)

                                  Super Computers (සුපිරි පරිගණක)


                                  Super Computer

                                  • ලෝකෙ තියෙන විශාලම, වේගවත්ම, මිල අධිකම පරිගණක වර්ගය තමයි මේ.
                                  • ඒ වගේම මේව පාවිච්චි කරන්නෙ යුධ කටයුතු, ගුවන් යානා නිර්මාණ කටයුතු, කාලගුණ දත්ත විශ්ලේෂණය වගේ බර වැඩ කරන්න විතරයි. 
                                  • ලෝකෙ පළවෙනි සුපිරි පරිගණකය වුණේ ILLIAC 4. 
                                  • මේවයෙ වේගය අපි ළඟ තියෙන පරිගණක වල වේගය වගේ පනස් දහස් ගුණයකටත් වඩා වැඩියි.
                                  • Cray, CGC, Fujitsu, NEC, IBM, Dell, NUDT වගේ සමාගම් ලෝකෙට සුපිරි පරිගණක නිපදවලා තියෙනවා. 
                                  • මේ පරිගණකයක එකවර 10,000 දෙනෙක්ට විතර වැඩ කරන්න පුළුවන්.
                                  • ලෝකයේ දැනට තියෙන බලවත්ම සුපිරි පරිගණක 10 මෙතනින් බලා ගන්න පුළුවන්.


                                  Mainframe Computers (මහා පරිගණක)


                                  Mainframe Computer

                                  • මේ පරිගණක විශාල ප්‍රමාණයේ ඒව වුණත් සුපිරි පරිගණක වලට වඩා විශාලත්වය, වේගය, මිල අඩුයි. 
                                  • ලෝකෙ ප්‍රධාන පෙලේ වෙළඳ ආයතන, බැංකු, විශ්ව විද්‍යාල වල මේවා පාවිච්චි කරනවා.
                                  • මේවයේ මතක ධාරිතාව ගොඩක් වැඩියි. 
                                  • ඒ නිසා ගොඩක් වෙලාවට මහා පරිමාණ පරිගණක ජාල වල මව් පරිගණක (servers) විදිහටත් මේවා පාවිච්චි කරනවා. 
                                  • මේ පරිගණකයක එක පාර 1,000 දෙනෙක්ට විතර වැඩ කරන්න පුළුවන්. 

                                  Mini Computers (මධ්‍ය පරිගණක)


                                  Mini Computer

                                  • මේවත් mainframe computers (මහා පරිගණක) වලට සමාන වුණත් ඒවට වඩා විශාලත්වයෙන්, වේගයෙන් හා මිලෙන් අඩුයි.
                                  • එක පාරකට 100 කට අඩු ගානකට තමයි පාවිච්චි කරන්න පුළුවන්.
                                  • ‍මේවත් ලෝකෙ ප්‍රධාන පෙලේ වෙළඳ ආයතන, බැංකු, විශ්ව විද්‍යාල වගේ තැන් වල තමයි පාවිච්චි කරන්නෙ. 
                                   

                                  Micro computers (ක්ෂුද්‍ර පරිගණක)


                                  • මේ පරිගණක වලින් කුඩාම පරිගණක වර්ගය. 
                                  • අපි එදිනෙදා පාවිච්චි කරන්නෙත් මේ පරිගණක තමයි. 
                                  • 1970 න් පස්සෙ තමයි මේව හදන්න පටන් ගත්තෙ. 
                                  • මේ පරිගණක වර්ගය විශාලත්වය අනුව ආයෙත් කොටස් 3 කට බෙදෙනවා.(මේ GIT වල ගොඩක් වෙලාවට ප්‍රශ්න අහන තැනක්!)

                                  Desktop Computers (Personal Computers -PC)


                                  Desktop Computer

                                  • මේ අපේ ගෙවල්වල තියෙන පරිගණක වර්ගය. 
                                  • මේක ඉතින් යන යන තැන උස්සන් යන්න අමාරු බව දන්නවනෙ. 
                                  • හදල තියෙන්නෙ පෞද්ගලික පරිහරණයට. 
                                   

                                  Laptop Computers


                                  Laptop Computer

                                  • නෝට්බුක් කියන්නෙත් මේවටම තමයි. 
                                  • යන තැනකට ලේසියෙන් ගෙනියන්න පුළුවන්. (portable computer)
                                  • 12V බැටරියක් තියෙන නිසා හැම තිස්සෙම විදුලියට සම්බන්ධ කරල වැඩ කරන්න ඕන නෑ. 
                                  • laptop කියන එකේ තේරුම "උකුල මත තබා වැඩ කළ හැකි" කියලා දන්නව ඇතිනෙ!
                                   

                                  Palmtop Computers


                                  Palmtop Computer

                                  • PDA (Personal Digital Asistant), Tab කියල කියන්නෙත් මේවටම තමයි. 
                                  • විශේෂත්වය තමයි මේ පරිගණක වල අනෙක් පරිගණක වල වගේ ඩිස්ක ධාවක (disk drives) පාවිච්චි කරන්නෙ නැති එක. ඒ වෙනුවට මේවයෙ මතක චිප් (memory chips) පාවිච්චි කරනවා. 
                                  • බලන් ගියහම අපේ ෆෝන් එකත් පරිගණකයක්ම තමා. 
                                  • palmtop කියන එකේ තේරුම "අත්ල මත තබා වැඩ කළ හැකි" කියලත් දන්නව ඇතිනෙ!

                                  සිදු කරන කාර්යය අනුව පරිගණක වර්ගීකරණය


                                  මේ කියන්න යන්නෙ තවත් පරිගණක වර්ගීකරණයක් ගැන. මේ ගැන කතා කළාම තවත් ඉතුරු වෙන්නෙ එක පරිගණක වර්ගීකරණයක් විතරයි. ඊට කළින් සිදු කරන කාර්යය (purpose) අනුව පරිගණක වර්ගීකරණය තමයි මේ ලිපියෙන් කතා කරන්නෙ. කලින් ලිපියෙදි කතා කරපු තොරතුරු ලබාදෙන ආකාරය ආකාරය අනුව පරිගණක වර්ගීකරණයෙ තිබුණ Digital computers (සංඛ්‍යාංක පරිගණක) තමයි මේ වර්ගීකරණයෙන් කොටස් දෙකකට බෙදෙන්නෙ. 


                                  • General purpose computers (පොදු කාර්ය පරිගණක)
                                  • Special purpose computers (විශේෂ කාර්ය පරිගණක)

                                  General Purpose Computers (පොදු කාර්ය පරිගණක)


                                  • කාර්යයන් රාශියකට පාවිච්චි කරන්න පුළුවන් පරිගණක මේ විදිහට හඳුන්වනවා. 
                                  • සිංදු අහන්න, ෆිල්ම් බලන්න, ගේම් ගහන්න අපි පාවිච්චි කරන්නෙත් මේවම තමයි. 
                                   

                                  Special Purpose Computers (විශේෂ කාර්ය පරිගණක)


                                  • මේවට නම් වැඩ ගොඩක් කරන්න බෑ. කරන්න පුළුවන් ඒ පරිගණකයට විශේෂ වෙච්ච නිශ්චිත එක දෙයක් විතරයි. 
                                  • air traffic control system, මුදලට සරිලන පරිදි පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා දෙන්න හදපු නවීන ඉන්ධන පිරවුම් යන්ත්‍ර වගේ දේවල් මේ වර්ගයට උදාහරණ විදිහට ගන්න පුළුවන්.

                                  පරිගණකයේ ඉතිහාසය


                                                                     ලංකාවෙ අපිට නම් පරිගණක පාවිච්චි කරන්න ලැබිල වැඩි කාලයක් නෑනෙ. ඒත් පරිගණකය කියන යන්ත්‍රයේ දියුණු වීම මෑත කාලෙදි සිද්ධ වුණත් පරිගණකයේ මූලික සංකල්ප ගැන ඉතිහාසය අවුරුදු දහස් ගාණක් ඈතට කතා කරන්න පුළුවන්. එහෙනම් අපි මුල ඉඳලා කරුණු විදිහට පරිගණකයේ ඉතිහාසය ගැන කතා කරමු. මේක ටිකක් දිග ‍ලිපියක්. හෙමිහිට කියවන්න.

                                  • පරිගණකය කියන්නෙ ගණිතමය උපකරණයක්. ඉතින් ලෝකයෙ පළවෙනි ගණිතමය උපකරණය විදිහට හඳුන්වන්නෙ "ඇබකසය". ඒක මුලින්ම හැදුවෙ ක්‍රි.පූ. 5000 - 3000 අතර කාලෙදි චීන ජාතිකයින් විසින්. ඊට පස්සෙ ඒක අනෙක් රටවල් වලත් පාවිච්චි කරන්න පටන් ගත්තා.
                                  • ඇබකසයේ මූලධර්ම වලින් තමයි ගණක රාමුව හැදුවෙ.
                                  • ක්‍රි.ව. 1614 දි ස්කොට් ජාතික ජෝන් නේපියර් "නේපියර් බෝන්ස්" කියන උපකරණය හැදුවා. 
                                  • ලෝකෙ පළවෙනි "ගණක යන්ත්‍රය" හැදුවෙ 1642 දි. ඒක හැදුවෙ ප්‍රංශ ජාතික ‍බ්ලේස් පැස්කල්. මේ යන්ත්‍රය "පැස්කලයින් යන්ත්‍ර‍ය" කියල වගේම "ඇඩිං මැෂින්" (Adding Machine) කියලත් හඳුන්වනවා. මේ යන්ත්‍රයෙන් කරන්න පුළුවන් වුණේ එකතු කිරීම හා අඩු කිරීම විතරයි.
                                  • 1674 දි පැස්කලයින් යන්ත්‍රය වැඩිදියුණු කරලා ජර්මන් ජාතික වොන්ලිබ්නස් , "රෙකෝනර්" කියන යන්ත්‍රය හැදුවා. ඒක එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම හා බෙදීම කියන ගණිත කර්ම 4ම කරන්න පුළුවන් විදිහ‍ට හදපු පළවෙනි යන්ත්‍රය විදිහටත්, දශම සංඛ්‍යා ක්‍රමයේ යාන්ත්‍රික ස්වරූපය දකින්න තිබ්බ පළවෙනි යන්ත්‍රය විදිහටත් ඉතිහාසගත වෙනවා. 
                                  • 1823 දි බ්‍රිතාන්‍ය ජාතික චාල්ස් බැබේජ් සම්පූර්ණයෙන්ම ඇබකසයේ මූලධර්ම පාවිච්චි කරලා "ඩිෆරන්ස් එන්ජින්" නිර්මාණය කළා.
                                  • 1833 දි එතුමා විසින්ම ඒ යන්ත්‍රය වැඩිදියුණු කරලා "විශ්ලේෂක එන්ජිම" (Analytical Engine) හැදුවා. ඒකෙ තමයි අද තියෙන පරිගණකවල මූලික සංකල්පය වෙන Input > Process > Output කියන ‍සංකල්පය මුලින්ම දකින්න තිබුණෙ. ඒ වගේම වැඩසටහනක් මගින් ක්‍රියාත්මක වෙච්ච ලෝකයේ පළවෙනි යන්ත්‍රය තමයි විශ්ලේෂක එන්ජිම. මේ යන්ත්‍රය හැදුවට පස්සෙ පරිගණක ඉතිහාසය ගොඩක් වෙනස් වුණා.
                                  • මේ කරුණු හින්දා චාල්ස් බැබේජ් පරිගණකයේ පියා විදිහට හඳුන්වනවා.
                                  • පරිගණකයේ මව විදිහට හඳුන්වන්නෙ විශ්ලේෂක එන්ජිමට වැඩසටහන් ලියපු බ්‍රිතාන්‍ය ජාතික ඇඩා ඔගස්ටා ලව්ලේස්. ඇය තමයි මුලින්ම දෙකේ පාදයේ සංඛ්‍යා ක්‍රමය පරිගණකයට හඳුන්වල දුන්නෙ. ඒ වගේම ඇයලෝකයේ පළමු ක්‍රමලේඛිකාව විදිහටත් ඉතිහාසගත වෙනවා.
                                  • 1939 දි ජෝන් වින්සන්ට් ඇටෙනසොෆ් "ABC" (Atenasoff Berry Computer) කියන පරිගණකය හැදුවා. 
                                  • 1944 දි හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හොවාඩ් එයිට්කන් "මාර්ක් 1" (Mark 1) කියන පරිගණකය හැදුවා. ඒකට IBM ආයතනයෙත් සහයෝගය ලැබුණා. සකසපු දත්ත තොරතුරු පිටතට ගත්තෙ ටයිප්රයිටරයක් පාවිච්චි කරලා. මේ පරිගණකයට එකපාර විද්‍යුත් යාන්ත්‍රික යොමු කිරීම් 3,000 ක් විතර කරන්න හැකියාව තිබුණා. ඒ කොහොම වෙතත් මේකෙ ප්‍රමාණය නම් ගොඩක් විශාලයි. මේක ටොන් ගාණක් බර යන්ත්‍රයක් කියල තමයි කියන්නෙ.
                                  • 1946 දි තමයි ලෝකයෙ පළවෙනි විද්‍යුත් සංඛ්‍යාත පරිගණකය හැදුවෙ. ඒකෙ නම තමයි "ඊනියැක්" (ENIAC - Electronic Numerical Intergrator And Calculator). ඒකට රික්ත නල (Vaccum Tubes) තාක්ෂණය පළවෙනි වතාවට පාවිච්චි කළා. මේක හැදුවෙ පෙනිසල්වේනියා විශ්වවිද්‍යාලයේ J.P. එකර්ට් හා J.W. මවුලි කියන දෙන්නා. මේකට රික්ත නල 14,000 ක් විතර පාවිච්චි කරල තියෙනවා. ඒ හින්දම මේක තියන්න වර්ග අඩි 300 ක විතර කාමරයක් ඕන වෙලා තියෙනවා. ඒ ව‍ගේම මේක වැඩ කරද්දි ඒ අවට හැම තැනම විදුලි බලය අක්‍රිය වෙලා තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නෙ මේකට කොච්චර විදුලි බලයක් ඕන වුණාද කියලා! මේ පරිගණකයට එකපාර විද්‍යුත් යාන්ත්‍රික යොමු කිරීම් 5,000 ක් විතර කරන්න හැකියාව තිබුණා. 


                                  • 1947 දි ඊනියැක් පරිගණකය හදපු අය ලෝකයේ පළවෙනි පරිගණක සමාගම වෙන "එකර්ට් මවුලි පරිගණක සමාගම" (Eckert Mauchly Computer Coperation) පිහිටෙව්වා.
                                  • 1948 දි ලංකාවෙ ඉතිහාසයෙ විතරක් නෙවෙයි පරිගණක ඉතිහාසයෙත් ලොකු වෙනසක් සිද්ධ වුණා. ඒ තමයි"ට්‍රාන්සිස්ටරය" ලෝකයට හඳුන්වල දීපු එක. ඒක කළේ ඇමරිකාවෙ බෙල් රසායනාගාරයෙ සේවය කරපුවිලියම් ෂොක්ලි, ජෝන් බාර්ඩීන්, වෝල්ටර් බ්‍රිටේන් කියන තුන් දෙනා. ට්‍රාන්සිස්ටරය පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සෙ ලොකුවට හදපු පරිගණක ටික ටික පුංචි වෙන්න පටන් ගත්තා. ට්‍රාන්සිස්ටරය ලෝකෙට කොච්චර වැදගත් වුණාද කිව්වොත් 1956 දි වසරේ හොඳම භෞතික විද්‍යා උපකරණයට හිමි ‍නොබෙල් සම්මානයත් ඒකට හම්බ වුණා. 
                                  • 1950 දි "ACE" කියන පරිගණකය නිර්මාණය වුණා.
                                  • 1951 දි ඊනියැක් පරිගණකය හදපු අයම "යුනිවැක්" (UNIVAC - UNIvarsal Automatic Computer) කියලා පරිගණකයක් හැදුවා. ඒකට එකපාර විද්‍යුත් යාන්ත්‍රික යොමු කිරීම් 10,000 ක් විතර කරන්න හැකියාව තිබුණා. මේකෙ මිල ඇමරිකානු ඩොලර් මිලියනයක් වුණා. 
                                  • 1953 දි IBM සමාගම "Model 650" කියන පරිගණකය හැදුවා. 1969 දි නිෂ්පාදනය නවත්තනකොට ඒ වර්ගයේ පරිගණක 1,600 ක් විතර හදලා තිබුණා.
                                  • 1956 දි IBM සමාගම ලෝකයේ පළවෙනි දෘඩ තැටිය (hard disk) හැදුවා. හැබැයි අද තියෙන ඒව වගෙ පොතක් තරම් නම් පොඩි නෑ. ශීතකරණ දෙකක් විතර ලොකුයි. ඒත් මේකෙ ගබඩා කරන්න පුළුවන් වුණේ නම් 4MB ටත් අඩු දත්ත ප්‍රමාණයක් විතරයි. 
                                  • 1960 දි "Digital Equipment Coperation" කියන සමාගම යතුරු පුවරුවක් හා මොනිටරයක් තිබ්බ මුල්ම පරිගණකය වෙන "PDP 1" නිර්මාණය කළා.
                                  • 1963 දි ඩග්ලස් එංගල්බර්ට් ලෝකයේ පළවෙනි මවුසය (mouse) හැදුවා.
                                  • 1965 දි PDP 1 හදපු "Digital Equipment Coperation" කියන සමාගමම ලෝකයේ පළවෙනි ක්ෂුද්‍ර පරිගණකය (mini computer) හැදුවා. (පරිගණක වර්ගීකරණයෙදි ක්ෂුද්‍ර පරිගණක ගැන වැඩි විස්තර කතා කරමු.)
                                  • 1971 දි ඉන්ටෙල් (Intel) සමාගමේ ටෙඩ් හොෆ් "Intel 4004" කියන ලෝකයේ පළවෙනි මයික්‍රෝ ප්‍රොසෙසරය හැදුවා. 
                                  • 1974 දි ජොනතන් ටීටස් තමයි අපි දැන් පාවිච්චි කරන ජාතියෙ පරිගණකයක් එහෙම නැත්නම් පුද්ගල පරිගණකයක් (personal computer) මුලින්ම හැදුවෙ. ඒකෙ නම තමයි "මාර්ක් 8" (Mark 8).
                                  • 1980 න් පස්සෙ තමයි අපි පාවිච්චි කරන ජාතියේ පරිගණක වෙළඳපොළට ආවෙ.
                                  • 1981 දි මයික්‍රෝසොෆ්ට් සමාගම DOS (Disk Operating System) මෙහෙයුම් පද්ධතිය හඳුන්වලා දුන්නා.
                                  • 1985 දි මයික්‍රෝසොෆ්ට් සමාගම DOS මත ක්‍රියා කරන මෙහෙයුම් පද්ධතියක් විදිහට අද අපි පාවිච්චි කරන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පළවෙනි සංස්කරණය හඳුන්වලා දුන්නා. 
                                  • 1993 දි ඉන්ටෙල් (Intel) සමාගම පෙන්ටියම් පවුලේ පළවෙනියා ඒ කියන්නෙ Pentium I හඳුන්වලා දුන්නා.
                                  • 1995 දි මයික්‍රෝසොෆ්ට් සමාගම DOS වලින් මිදිල සවාධීනව වැඩ කරන මෙහෙයුම් පද්ධතියක් විදිහට Windows 95 හඳුන්වලා දුන්නා.