Saturday, October 25, 2014

පරිගණකයක මූලික ක්‍රියාකාරීත්වය කැටි සටහනකින් විස්තර කිරීම.


Computer & a girl (A/L GIT post)

මේ පාර GIT විභාගෙට නම් තව සතියයි. මේ පාර නම් විභාගෙට කලින් සෑහෙන කරුණු ටිකක් බ්ලොග් එකට දා ගන්න පුළුවන් වුණා. GIT වල අපිට තව ගොඩක් කතා කරන්න නෑ. තව පෝස්ට් 4ක් 5ක් ලියද්දි විෂය නිර්දේශයෙන් 80% ක් විතර ඉවර කරන්න පුළුවන් වෙයි. ඇයි අවුල්ද? අපේ හැටි එහෙමයි. හැබැයි එහෙමයි කියලා අපි විෂය නිර්දේශයෙ තියෙන කිසිම දෙයක් හලන්නෙ නෑ.


මේ පෝස්ට් එකෙන් අපි කතා කරන්නෙ පරිගණකයක මූලික ක්‍රියාකාරීත්වය කැටි සටහනකින් විස්තර කරන හැටි ගැන. මට මතකයි එක අවුරුද්දක වි‍භාගෙට මේ කැටි සටහන සම්පූර්ණ කරන්නත් ආවා. මේ තියෙන්නෙ ඒ කැටි සටහන. හරියට පේන්නෙ නැත්නම් පින්තූරෙ උඩ ක්ලික් කරල බලන්න. මට නම් මේක දැකලම එපා වෙලා..

Block Diagram of Computer System (www.isawwalanka.com)

අපි පාවිච්චි කරන පරිගණකයක තියෙන ප්‍රධාන කොටස් තමයි මේ සටහනේ පෙන්නල තියෙන්නෙ. සරලව කිව්වොත් අපි පාවිච්චි කරන පරිගණකයක සම්පූර්ණ ක්‍රියාවලිය මේ සටහනෙන් පෙන්නනවා. වැඩි කතා ඕන නෑ. මේකෙ තියෙන කොටස් එකින් එක පහළින් විස්තර කරන්නම්.

Processor (පිරිසකසනය හෙවත් ප්‍රොසෙසරය)


i7 Processor (www.isawwalanka.com)

මේක පරිගණකයේ් මොළය විදිහට හඳුන්වන්න පුළුවන්. CPU (Central Processing Unit) කියන්නෙත් මේකටම තමයි. අපේ සමහරු නම් CPU කියන්නෙ මුළු පරිගණක පද්ධතියටමනෙ. නොදන්න උදවිය ඉන්නව නම් අද වත් හරියට දැනගන්න ඒක CPU නෙවෙයි PSU (Personal System Unit).

මේකෙ වේගය, ඒ කියන්නෙ තොරතුරු සැකසීමේ හැකියාව මනින්නෙ හර්ට්ස් (Hz) වලින්. අද කා‍ලෙ නම් මේ වේගය ගිගාහර්ට්ස් (GHz) වලින් මනින තරමට වැඩි වෙලා. Clock Speed කියන්නෙත් ඕකටම තමා.  Motorola, AMD ව‍ගේ ගොඩක් සමාගම් ප්‍රොසෙසර් හැදුවත් ලෝකෙ අංක එකේ ප්‍රොසෙසර් නිෂ්පාදකයා වෙන්නෙ Intel සමාගම.

මේක මේ යටි පැත්තෙ පිත්තල තුඩු සිය ගානක් තියෙන පොඩි චිප් එකක්. පොඩි වුණාට ගාණ නම් හරි සැරයි. ඒ වගේම සම්පූර්ණ පරිගණකය පාලනය කරන්නෙත් මේකෙන්. ක්‍රියාකාරීත්වය අනුව ප්‍රොසෙසරයේ කොටස් 2ක් තියෙනවා.

CU - Control Unit (පාලන ඒකකය)


පරිගණකයේ වගේම පරිගණකයට සම්බන්ධ කරපු සියළුම උපාංග පාලනය කරන්නෙ මේ කොටසින්. මේ ‍කොටසින් උපාංග අතර තොරතුරු හුවමාරුව පාලනය කළත් දත්ත සැකසීමක් නම් මේ කොටසින් කරන්නෙ නෑ.

ALU - Arithmetic & Logical Unit (අංක ගණිතමය හා තාර්කික ඒකකය)


එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වගේ ගණිතමය ක්‍රියාකාරකම් වලින් දත්ත සැකසීම සිදු කරන්නෙ මේ කොටසින්. තාර්කික ද්වාර (Logic Gates) අවශ්‍ය විදිහට දත්ත සැකසුම් වලට පාවිච්චි කරන්නත් මේ කොටසට පුළුවන්. 

Main Memory (ප්‍රධාන මතකය)


RAM (www.isawwalanka.com)

ප්‍රොසෙසරයට කෙළින්ම හසුරුවන්න පුළුවන් එකම විශාල මතකය මේකයි. අපි ඔය RAM (Random Access Memory) කියන්නෙ මේකටනෙ! ප්‍රොසෙසරයෙන් දත්ත තොරතුරු හසුරුවද්දි ඒව දරාගෙන ඉන්නෙ මේ ප්‍රධාන මතකයෙන්. 

ඔය දාල තියෙන්නෙ රැම් කාඩ් එකක්. අද කාලෙ මේවයෙ ධාරිතාව මනින්නෙ ගිගාබයිට් (GB) වලින්. මේ ප්‍රධාන මතකය පරිගණකය අක්‍රිය කරපු ගමන් නැති වෙලා යනවා. ඒ කියන්නෙ ප්‍රධාන මතකය රැඳිල තියෙන්නෙ විදුලි බලය සපයනකම් විතරයි. ඒ හින්ද ප්‍රධාන මතකය, නශ්‍ය මතකයක් කියල කියනවා.

Secondary Storage (ද්විතියික මතක ගබඩාව)


HDD (www.isawwalanka.com)

විශාල ධාරිතාවයක් තියෙන තොරතුරු ස්ථිර විදිහට, ඒ කියන්නෙ විදුලි බලය සපයන එක නැවැත්තුවට මැකෙන්නෙ නැති විදිහට ගබඩා කරන්න මේ ද්විතියික මතක ගබඩා පාචිච්චි කරනවා.

පරිගණකය ඇතුළෙ තියෙන ප්‍රධාන ද්විතියික මතකය වෙන්නෙ දෘඩ තැටිය, එහෙමත් නැත්නම් හාඩ් ඩිස්ක් (Hard Disk) එක. චුම්බක ආධාරයෙන් තමයි මේකෙ දත්ත ගබඩා කරන්නෙ. අද කාලෙ හාඩ් ඩිස්ක් එකක ධාරිතාව මනින්නෙ ටෙරාබයිට් (TB) වලින්. ඒ වගේම මේ හාඩ් ඩිස්ක් ඇතුළෙ තියෙන ලෝහ තැටි මිනිත්තුවට වට 7,200 ක තරම් වේගයකින් කැරකෙනවා. දත්ත හැසිරවීමේ වේගය තත්පරයකින් දාහෙන් පංගුවක් තරම් වෙනවා (1 milisecond).

හාඩ් ඩිස්ක් විතරක් නෙවෙයි, CD, DVD, Pen/Flash Drives, Memory Cards වගේ දේවලුත් අයිති වෙන්නෙ මේ ද්විතියික මතක වර්ගයටම තමයි.

පරිගණක මතකය මනින ආකාරය

පරිගණක වල මතකය මනින්නෙ බිට් (bit) හා බයිට් (Byte) කියන ඒකකයෙන්. කෙටියෙන් හඳුන්වද්දි මේ දෙකටම පාවිච්චි කරන්නෙ එකම අකුර. ඒ කියන්නෙ බිට් වලට "b" (උදා: 1 Mbps), බයිට් වලට "B" (උදා: 1 MB).මේක පැටලෙන්න පුළුවන් නිසා හොඳට මතක තියා ගන්න වෙනවා.

  • 8 bits          =   1 Byte
  • 1024 Bytes =   1 KB   (Kilo Byte)
  • 1024 KB    =   1 MB   (Mega Byte)
  • 1024 MB    =   1 GB   (Giga Byte)
  • 1024 GB     =   1 TB   (Tera Byte)
  • 1024 TB      =   1 PB   (Peta Byte)

මේකත් මෙතනම කියන්නම්. පෙන් ඩ්‍රයිව් එකක්, මෙමරි කාඩ් එකක් ගත්තම ඒකෙ කියල තියෙන GB ගාන කවදාවත් තියෙන්නෙ නෑ නේද? ඒකට හේතුව ඒවා නිෂ්පාදනය කරන සමාගම් 1024, 1000 ක් හැටියට සළකලා ඒවා නිපදවීම. ඒ කියන්නෙ 1000KB = 1MB, 1000 MB = 1GB ආදී විදිහටයි ගනන් ගන්නෙ. එතකොට 4GB පෙන් ඩ්‍රයිව් එකක තියෙන්නෙ 3.7GB වගේ ප්‍රමාණයක්. 

Input (ආදානය)


Input Devices (www.isawwalanka.com)

දත්ත හා උපදෙස් පරිගණකයට ඇතුළත් කිරීම ආදානය විදිහට හඳුන්වනවා. එහෙම ආදාන කරන්න පාවිච්චි කරන උපාංග, ආදාන උපාංග විදිහට හඳුන්වනවා. පරිගණකය හා අපිව සම්බන්ධ කරන්නෙ ආදාන උපාංග කිව්වොත් නිවැරදියි. ආදාන උපාංග කිහිපයක් මේ විදිහට දක්වන්න පුළුවන්.

  • Key Board
  • Mouse
  • Microphone
  • Scanner
  • Joy-Stick
  • Web Camera
  • Bar Code Reader
  • MICR - Magnetic Ink Character Recognizer
  • OCR - Optical Character Recognizer
  • OMR - Optical Mark Recognizer (මෙය බහුවරණ පිළිතුරු පත්‍ර ඇගයීමට භාවිතා කෙරේ.)

Output (ප්‍රතිදානය) 



Output Devices (www.isawwalanka.com)

පරිගණකයෙන් සැකසූ ප්‍රයෝජනවත් දත්ත තොරතුරු පිටතට ලබා ගැනීම ප්‍රතිදානය විදිහට හඳුන්වනවා. එහෙම ලබාදෙන උපාංග ප්‍රතිදාන උපාංග විදිහට හඳුන්වනවා. ප්‍රතිදාන උපාංග කිහිපයක් මේ විදිහට දක්වන්න පුළුවන්.

  • Printer
  • Monitor
  • Speaker
  • Headphone
  • Projecter

Input Output Devices (ආදාන ප්‍රතිදාන උපාංග)


ආදානයත් ප්‍රතිදානයත් දෙකම කරන්න පුළුවන් උපාංග මේ විදිහට හඳුන්වනවා. මේව ගැන විෂය නිර්දේශයේ නැතත් දැනගෙන ඉන්න එක වටින නිසා කියන්න හිතුවා. ආදාන ප්‍රතිදාන උපාංග කිහිපයක් මේ විදිහට දක්වන්න පුළුවන්.

  • Touch Screen 
  • Memory Card Reader
  • USB Modem

No comments:

Post a Comment