Saturday, October 25, 2014

IP, Proxy සහ DNS හඳුනාගනිමු








පරිගනක සහ අන්තර්ජාලය භාවිතා කරන ඔබට නිතරම අසන්නට ලැබෙන වචන තුනකි IP, Proxy සහ DNS. නමුත් ඔබ මෙම වචන වල අර්ථන නිවැරදිව දන්නවාද?

නැත!

ඔව්. අන්තර්ජාලයට සම්බන්ධ පරිගනකයක් භාවිතා කරන ඔබ සියළුදෙනාම මෙම IP, Proxy සහ DNS යන තාක්ෂණයන් අනිවාර්‍යයෙන්ම භාවිතා කරන නමුත් ඒවා මොනවාද යන්න සහ එම තාක්ෂණයන් ඔස්සේ අපගේ පරිගණක භාවිතය වඩාත් පහසු කරගන්නා ආකාරය පිළිබඳව නොදනී.





Internet Protocol (IP)


IP යනු කුමක්දැයි ඔබ දන්නවාද?

ඔව්! IP එකක් යනු 192.168.1.1 වැනි අංකයකි.

ඔබත් සිතන්නේ එලෙසද? එසේනම් ඔබ IP යනු කුමක්දැයි හරිහැටි නොදනී. නමුත් මෙම ලිපිය අවසානයේ ඔබ IP පිළිබඳව බොහෝ දේ දන්නා පුද්ගලයෙකු බවට පත්වනු නොඅනුමානය.

අන්තර්ජාලය හෝ වෙනත් එවැනි විශාල පරිගනක සංඛ්‍යාවක් එක් කර නිපදවන පරිගනක ජාලයකදී පරිගනක අතර දත්ත සන්නිවේදනය ඉතා පහසුවෙන් සහ කාර්‍යක්ෂමව සිදුකිරීම උදෙසා එම දත්ත සන්නිවේදනය යම්කිසි සම්මත ප්‍රමිතියක් ඔස්සේ සිදුකරනු ලබයි. උදාහරණයක් ලෙස විවිධ රටවල සිටින විවිධ භාෂා කතා කරන මිනිසුන් ලෝකය සමග සම්බන්ධ වීමේදී පොදු සන්නිවේදන මාධ්‍ය ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා කරයි. එලෙසම විවිධ වූ මෙහෙයුම් පද්ධති සහිත විවිධ වූ පරිගනක අන්තර්ජාලය තුල දත්ත සන්නිවේදයන කිරීමට භාවිතා කරන සම්මත ප්‍රමිතිකරණය “අන්තර්ජාල නියමාවලිය” හෙවත් Internet Protocol ලෙස හඳුන්වනු ලබයි.

අන්තර්ජාල නියමාවලිය ඔස්සේ දත්ත සන්නිවේදනය සිදුකිරීමේදී එම ක්‍රියාවලිය කොටස් කිහිපයකට බෙදා වෙන්කර පියවරෙන් පියවර සිදුකරනු ලබයි


  1. යෙදුම් ස්ථරය (Application Layer)
  2. ප්‍රවාහන ස්ථරය (Transport Layer)
  3. අන්තර්ජාල ස්ථරය (Internet Layer)
  4. සම්බන්ධක ස්ථරය (Link Layer)
  5. භෞතික ස්ථරය (Physical Layer)

ඔබේ පරිගනකය ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති වෙනත් පරිගනකයක් වෙත පණිවිඩයක් යවන අවස්ථාවක් සලකමු. ඔබ යම්කිසි මෘදුකාංගයක් ඔස්සේ විවිධ අක්ෂර වලින් ඔබේ පණිවිඩය සකස් කරනු ලබයි. මෙය සිදුවන්නේ යෙදුම් ස්ථරය තුලයි. මෙහිදී ඔබට වර්ණවත් අතුරුමුහුනතක් සහිත මෘදුකාංගයක් ලැබේ.

නමුත් පරිගනකය ඔබ ලබාදෙන අක්ෂර තේරුම් ගනු ලබන්නේ අක්ෂර ලෙස නොව විද්‍යුත් සංඥා (Electronic signals) ලෙසය. ප්‍රවාහන ස්ථරය තුලදී ඔබ ලබාදුන් දත්ත මෙම විද්‍යුත් සංඥා බවට පත්කර සන්නිවේදනයට සූදානම් කිරීම සිදුකරනු ලබයි. මෙම විද්‍යුත් සංඥා “දත්ත මළු” හෙවත් Data Packets ලෙස හඳුන්වනු ලබයි.

මීලඟ පිවිසෙන්නේ ජාල ස්ථරය තුලටය. මෙම පියවර තුලදී ඉහත සඳහන් කල packets යොමුකලයුතු පරිගනකය හඳුනාගෙන ඒ වෙත යොමු කරනු ලබයි. මේ සඳහා IP address භාවිතා කරනු ලබයි.

Link Layer සහ Physical Layer යනු දත්ත සන්නිවේදයන වන ජාලයේ ඇති විවිධ රැහැන් සහ භෞතික උපකරණයන්ය. මෙම ලිපිය හඳුන්වාදීමේ ලිපියක් බැවින් ඒ පිළිබඳව ඔබේ අවධානය යොමුකිරීමට බලාපොරොත්තු නොවේ.



IP address යනු මොනවාද?


IP යන වචනය ඇසූ පමණින් බොහොදෙනාගේ මනසට නැගෙනුයේ IP address ය. නමුත් IP address එකක් යනු අන්තර්ජාල නියමාවලියේ භාවිතා වන එක් ක්‍රමවේදයක් පමණි. ඉහත සඳහන් කල විවිධ ස්ථරයන් අතරින් Internet Layer තුල භාවිතා වන මෙම IP address යනු අන්තර්ජාලයට සම්බන්ධව ඇති පරිගනක අනන්‍යව හඳුනාගැනීමට භාවිතා කරන ලිපින විශේෂයකි. 192.168.1.1 , 208.106.55.68 , 172.254.93.48 වැනි ලිපින වර්ථමානයේ බහුලව භාවිතා වන Ipv4 සම්මතයේ IP ලිපින සඳහා උදාහරණ ලෙස දැක්ක්වියහැක. IP ලිපිනයක් කොටස් හතරකින් යුක්ත වන අතර නැවතීමේ තිත “.” භාවිතා කර එම කොටස් වෙන්කර දක්වනු ලැබේ.

අන්තර්ජාලයට සම්බන්ධව ඇති සෑම පරිගනකයකටම මෙවන් IP ලිපිනයක් තිබෙන අතර මේවා වරින්වර වෙනස්වන Dynamic IP address හෝ ස්ථාවර Static IP address වියහැක. කෙසේ වෙතත් නිවසක් වෙත ලියුමක් යැවීමට එම නිවසේ තැපැල් ලිපිනය භාවිතා කරන සේම අන්තර්ජාලය තුල පරිගනකයක් හඳුනාගනු ලබන්නේ සහ ඒ වෙත පණිවිඩයක් යොමු කරන්නේ මෙම IP ලිපිනය ඔස්සේය.

ඔබේ IP ලිපිනය කුමක්දැයි පරීක්ෂා කිරීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න

තැපැල් ලිපිනයක් හඳුනාගැනීමට නිවසේ අංකය, වීදිය, නගරය, තැපැල් කොට්ඨාශ අංකය, වැනි විවිධ කොටස් භාවිතා කරනු ලබන ආකාරයටම IP ලිපිනයක් තුලද විවිධ උප කොටස් සහ විවිධ IP ලිපින පංති (Classes) ඇති නමුත් මෙම ලිපිය තුල එතරම් ගැඹුරට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවේ. “Internet Protocol” පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.





Proxy Server හඳුනාගනිමු



අන්තර්ජාලය භාවිතා කරන බොහෝදෙනා වැඩිවශයෙන් කතාබහ කරන තවත් මාතෘකාවකි Proxy. ඔබ ඔබේ IP ලිපිනය hide කිරීම සඳහා  proxy එකක් භාවිතා කරනවා වියහැක. නමුත් proxy එකක් යනු IP address hide කිරීමට භාවිතා කරන උපක්‍රමයක් පමණක්ම නොවේ. මෙය ඔබගේ අනන්‍යතාවය සඟවා තබාගැනීම භාවිතා කලහැකි ආරක්ෂක උපක්‍රමයක් ලෙස ද යොදාගත හැක.

මීට අමතරව විවිධ රටවල් තුල හෝ ආයතන තුල ඇති පරිගනක ජාල ඔස්සේ අන්තර්ජාලයට ප්‍රවේශ වීමේදී යොදා ඇති විවිධ අවහිරකිරීම් මගහැර යාමට Proxy එකක් භාවිතා කලහැක

 
Proxy එකක් හරහා අවහිර කර ඇති වෙබ් අඩවියකට පිවිසීම






තවද යම් පරිගනක ජාලයක් මේ ආකාරයට Proxy Server එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ කිරීම මගින් ජාලයේ ඇති පරිගනක විසින් නිතර නිතර ඉල්ලා සිටිනු ලබන වෙබ් පිටු Proxy Server එක තුල තාවකාලිකව ගබඩා කර තබාගන්නා ලබන අතර (caching) නැවත එම පිටුව ඉල්ලාසිටින විට අන්තර්ජාලයට සම්බන්ධ නොවී එම ගබඩා කරගත් පිටුව ලබාදේ. මෙමගින් ජාලයේ වේගය වැඩිකරගතහැකි වන අතර අන්තර්ජාල කළාප පළල (Internet bandwidth / Internet Usage) ද අවම කරගතහැකි වේ.




Proxy එකක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීම


               





DNS හඳුනාගනිමු




DNS යන්නෙන් අර්ථනිරූපනය වන්නේ Domain Name Service යන්නයි.

අප අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවියකට පිවිසීමට භාවිතා කරන වෙබ් ලිපින domain එකක් ලෙස හඳුන්වනු ලබයි. උදාහරණයක් ලෙස www.google.lk යනු Google සමාගමේ domain name එකයි. සැබැවින්ම මෙය Google සෙවුම් යන්ත්‍රය අන්තර්ගත Server පරිගනකය හඳුනාගැනීමට භාවිතා කරන නාමයයි.

නමුත් ආරම්භයේදී සඳහන් කල පරිදි පරිගනකයකට මෙවන් අක්ෂර වලින් සැදුම්ලත් නාමයක් තේරුම්ගත නොහැකිය. පරිගනක පරිගනකයක් විසින් තවත් පරිගනකයක් හඳුනාගනු ලබන්නේ IP ලිපිනයක් මගිනි. DNS භාවිතා කරන්නේ මෙම ගැටළුව නිරාකරණය කරගැනීමට ය. DNS යනු පරිගනක ජාලය තුල ස්ථාපනය කර ඇති තවත් සේවාදායක පරිගනකයක් (server) තුල ක්‍රියාත්මක වන පරිගනක වැඩසටහනකි. මෙමගින් අප විසින් ලබාදෙන Domain Name එක IP ලිපිනයක් බවට පරිවර්ථනය කරනු ලබයි.

DNS Server එක තුල විවිධ Domain name වලට අදාල IP ලිපින ඇතුලත් වගුවක් පවත්වාගනු ලබන අතර පරිශීලකයා විසින් ලබාදෙනු ලබන domain name එකට අදාල IP ලිපිනය හඳුනාගෙන ඔහුව අදාල වෙබ් අඩවිය ඇතුලත්වන Server පරිගනකය වෙත යොමු කිරීම DNS හි කාර්‍යභාරය වේ.



DNS හි ක්‍රියාකාරීත්වය



තෝරාගත් පරිගනක ජාලයක් තුල තෝරාගත් වෙබ් අඩවි අවහිර කිරීමට මෙම DNS සේවාව බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. උදාහරණයක් ලෙස කාර්‍යාලීය පරිගනක ජාලය තුල facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුම මග DNS ඔස්සේ අදාල අඩවි අවහිර කිරීමයි.

Open DNS භාවිතා කර මෙවැනි සේවාවන් රැසක් නොමිලයේම ලබාගන්නා ආකාරය පිළිබඳව ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.




මෙම ලිපිය IP, Proxy සහ DNS පිළිබඳව ඔබට හඳුන්වාදීම අරමුණුකරගෙන ලියවුනු එකක් බැවින් එක් එක් විෂයපථය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවේ. මෙම එක් එක් මාතෘකාව පිළිබඳව ගැඹුරින් අධ්යනය කරන ලිපි මාලාවකින් ඉදිරි දිනයකදී හමුවෙමු.

෴ස්තුතියි෴
--------------------------

No comments:

Post a Comment