Monday, October 6, 2014

යූපීඑස් එකේ ආයු කාලය වැඩි කරගැනීමට නම්. . .






             UPS කියන්නේ   Uninterrupted Power Supply නැත්නම් Uninterruptible Power Source කියන එක.  ඒකෙ තේරුම ගත්තාම ඒ වචනයෙන්ම කියවෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම කියන අදහස. UPS යොදාගන්නේ බොහෝ විට පරිගණක හා telecommunication ආශ්‍රිතව ක්‍රියා කරන උපාංග හදිසි විදුලි බිඳවැටීමක් වැනි අවස්ථාවකදී ඇති වන හානි වලින්, අනතුරු වලින් ආරක්ෂා කරගැනීමටයි කියන එක කවුරුත් දන්නවා ඇති. හැබැයි පුතේ UPS එකක් ගන්න කම්මැලිකමට, සල්ලි නෑ කියලා නිකම්ම බිත්තියට කේබල් ටික ගහගෙන කම්පියුටරේ පාවිච්චි කරලා කරන්ට් ගිහින්, අපේ ජාතික විදුලි බල මණ්ඩලේ අයියලා මාමලා ආදරෙන් මතක් කර කර ඕක පාවිච්චි කරලා,  අන්තිමට UPS පහක් ගන්න සල්ලි ඒක හදාගන්න වියදම් වෙද්දි තමයි හිතෙන්නේ කම්පියුටරේට කලින් UPS එකක්  අරන් තියා ගන්න එකයි වටින්නේ කියලා. අපේ රටේ 230 V විදුලිය ලැබෙන බව කිවට හැබෑම ප්‍රමාණය ඊට ටිකක් අඩුවෙන්  210-220 V අතර විදුලියක් තමයි නිවෙස්වලට ලැබෙන්නේ. මෙහෙම වුනාට අපේ ඇහැට පේන්නේ නැති විදුලි වෙනස්වීම් අඩු වැඩිවීම බොහොමයක් වෙලාවට වෙනවා. ඔය කිව ආකාරයට ක්ෂණයෙන් සිදුවන අඩුවැඩිවීම අපි එදිනෙදා භාවිතා කරන සංවේදි විදුලි උපාංග කෙරෙහිත් එක හා සමානවම බලපානවා. පරිගණකයටත් ඒ සිද්ධාන්තය ඒ අකාරයටම බලපවත්වනවා. මුලින්ම Power supply එක මගින්  පිටතින් එන ධාරවෙන් තමන්ගේ යන්ත්‍රයට හානියක් නොවී පවත්වා ගැනීමට උත්සාහ දරනවා. නමුත් ඒ උත්සාහය ඇණ හිටපු වෙලාවට ඇතුලත වටිනා කියන  මදර්බෝඩ්, හාඩ් ඩිස්ක්, රැම් ඇතුලු සියල්ල ලෙඩ වෙන්න බලනවා. මට මතකයි කාලෙකට ඉස්සර අපේ ඔෆීසියට යාබද ස්ථානයක AC එකේ ඇති වුන දෝෂයක් හේතුවෙන් මහ රෑ වෙලා සිදුවෙච්ච විදුලි අඩු වැඩි වීමකින් පරිගණක සියල්ලම පිලිස්සිලා ගිය හැටි. දත්ත ටික නම් File Servers වල බැකප් කරන නිසා ඒව රැකුන එක ලොකු සහනයක් වුනා ඒ අයට. ගෙදර පරිගණකයත් යම් ආකාරයකින් හිටි හැටියෙම අක්‍රිය වුනොත් අපිට කොයින්ද  File Servers. ඉතින් වෙන්න තියෙන හැම ප්‍රශ්ණයකටම විසදුමක් සඳහා තමයි UPS එකක් දාගන්න කියන්නේ. 


ඉතින් මේවා ප්‍රධානවම වර්ග  දෙකකට වෙන් කරන්න පුලුවන් මේ විදිහට. 

Off Line UPS - (Line-interactive UPS)
On Line UPS -  (Dual Conversion UPS)


                                   ප්‍රධාන වශයෙන් තියෙන මේ වර්ග දෙක තමයි. මේ  UPS වර්ග දෙක මූලිකවම එකකට එකක්  වෙනස් වන්නේ, හදිසි විදුලි බිඳවැටීමකදී පරිගණකය අක්‍රිය නොකර එයට නැවත විදුලිය ලබාදීමට ගන වන කාලය අනුවයි. මේ Off Line UPS කියන වර්ගයේ ක්‍රියාකාරීත්වය මෙහෙමයි.  මෙයට අපි Line-interactive UPS වගේම Standby Power Systems කියලත් කියනවා. අපි පරිගණකය  භාවිත කරමින් ඉන්න විට  යම් මොහොතක විදුලි ඇනහිටීමක් සිදු උනොත්  UPS එකේ ඉඳන් පරිගණකය වෙත විදුලිය ලබා දීමට තත්තරයෙන් දහයෙන් එකක් පමණ ගතවෙනවා.  ක්ෂණයෙන් සිදුවන දෙයක්. එතකොට පරිගණකය ක්‍රියා විරහිත වෙනවනෙ කියලා ගැටලුවක් එනව නම් උත්තරය තමයි  නැ එහෙම වෙන්නෙ නැ කියන එක.ඒ විදිහට ධාරාව එකඑල්ලේ තබා ගැනීමට පරිගණකයේ තිබෙන  Power Supply කියන උපාංගයේ ඇතුලත තිබෙන ධාරිත්‍රක වල දැනට පවතින පුංචි විදුලි ප්‍රමාණය යොදාගන්නවා. මේ විදිහේ විදුලිය බිද වැටිමක් සිදුවුනොත්  එය ඉක්මනින් හදුනාගෙන කෙලින්ම සම්බන්ධ වන්නේ එහි ඇති බැටරියේ විදුලියත් එක්ක. මේ වර්ගය කොයි වෙලාවෙත් ගෘහස්ථ විදුලි පද්ධතියෙන්ලැබෙන 230V ධාරාව මත යැපෙන නිසා හදිසි විදුලි අක්‍රිය වීමකදි ක්ෂණිකව තමන් හරහා පරිගණකයට විදුලිය ලබා දෙමින් පරිගණකය නොනැවතී ක්‍රියා කරවීමේ වගකීම භාරගන්නවා.  
                               On Line UPS කියන මාදිලිය අපි ගෙදර දොරේ භාවිතයට ගන්නේ නෑ. මේවා මහා පරිමාණ විදිහට ක්‍රියාත්මක වෙන උපාංග ඇති තැන්වල තමයි යොදන්නේ.  UPS එකේ ඉඳන් අදාල උපකරණයට විදුලිය ලබා දීමට මෙහිදි වැඩි කාලයක් ලබා ගන් නෑ. මොකද  On line UPS වලදි සැම විටම inverter එක මගින් ජනනය කරන විදුලිය ලබා දෙන නිසා ඉහත වෙනස අපිට දැනෙන් නෑ. ඉතින් එ වගේම තමයි මේ UPS වල මිළ ගනන් එහෙමත්. අපි ගොඩක් ​වෙලාවට මේ වර්ගයේ UPS භාවිතා කරන්නේ ශල්‍යාගාර වල තිබෙන අත්‍යාඅවශ්‍ය උපකරන වගේම Server සදහාත් මෙම වර්ගය යොදා ගන්නවා. අනිත් වාසිය තමයි output voltage එක පාලනය කරමින් නියතව තබාගන්නා electrical firewall එකක් විදිහට ක්‍රියා කරමින් අපි සතුව තියෙන sensitive electronic equipments වල ආරක්ෂාව ගැන ඉහල සහතිකයක් දෙන්නත් මෙයට හැකියාව තියෙනවා. මෙම UPS වර්ග අපි ගෙදර දොර භාවිත කිරීමට ගන්නෙ නැත්තේ මෙහි වටිනාකම ඉහල හින්දා. 


 බැටරිය නරක් වුනා කියලා දැනගන්නේ කොහොමද?
                          UPS වල තියෙන්නෙ 12V 7Ah ධාරවක් ලබාදෙන ඇසිඩ් වලින් තොර (Sealed Type)බැටරි එකක්. නැත්නම් 12v motercycle battery එකක් දාන්නත් පුළුවන්නේ. නමුත් ආරක්ෂාව ගොඩක් අඩුයි. මේවට එන බැටරි Sealed Type කියන එකේ තේරුම තමයි ඇතුලේ තියන ඇසිඩ් එලියට එන්නේ නැහැ කියන එක. මෝටර්සයිකල් බැටරි එකක් දැම්මොත් බොහෝවිට අපි කාමරයක් ඇතුලේ වගේ භාවිතා කරන නිසා පිපිරීයාමේ සම්භාවිතාව වැඩියි. මේ බැටරියේ එක කුටිරයකට අපි කියන්නේ Cell එකක් කියලා.මේ Cell එකක වෝල්ට් 2ක විභව අන්තරයක් නියෙනවා. මෙහෙම Cell 6 ක් එකතු වෙලයි වෝල්ට් 12 ක් හැදෙන්නෙ.  විදුලි සැපයුම දෝෂ සහිත වන විට UPS එක හරහා පරිගණකයට ලැබෙන විදුලිය බිඳවැටෙනවානම් UPS පාවිච්චි කරන එකේ තේරුමක් ඇත්තෙම නෑනේ. High හෝ low volatages එනවිට UPS එක  මඟින් ඒවා filter කරන්න ඕනෙ. නැත්නම් ඒවා පරිගණකයට අන්තරාවක් වෙන විදිහට එනව නම් UPS එක වැඩක් නැ. UPS එක බැටරි එකට මාරු වෙන්න ඕනෙ ඒ වෙලාවට. ඉතින් එහෙව් බැටරිය අවුල් කියලා දැනගන්නේ කොහොමද? අනික තමයි  UPS එක  ගත්ත මුල් දවස් වලම විනාඩි 20 ක් විතර වැඩ කරන්න පුලුවන්. දැන් නම් LCD හා LED තිර වල විදුලි පිරිමැසීම හේතුවෙන් ඊටත් වඩා පුලුවන්. හැබැයි ඉතින් ගත්ත අලුත. කාලයක් යන විට මේ කාලය ටික ටික අඩුවෙනවා.  සමහර විට පරිගණකය පරිගණකය shut down කරගන්න කාලය මදි වෙන තරමටම කාලය අඩුවෙනවා.  
                         පරිගණකයෙන් වැඩ කර කර ඉද්දි එකපාරම විදුලිය ඇන හිටිනවත් එක්කම UPS එකත් off වෙලා යනව නම් ඒක බැටරියේ ආයු කාලය ඉවරයි කියන ලකුණක්. ඒ වගේම විදුලිය ඇන හිටින වෙලාවට ඉක්මනටම UPS එකට ස්විච් වුනත් device එකක් ප්ලග් කරාම පටස් ගාලා ඕෆ් වෙන එකත්, On කරාම කිසිම හාවක් හූවක් නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න එකත් බැටරිය නරක් වුනා කියලා දැනගන්න පූර්ව ලක්ෂණ තමයි. අපි කතා කරන 650VA කියන ගෙදර දොරේ භාවිතා කරන පුංචි UPS එකේ ඉඳන් 1.2KVA බැටරි දෙකක් දාන UPS එකත් , 650VA බැටරි තිහක් හතලිහක් දාලා පාවිච්චි කරන ඒවත් UPS ම තමයි. බැටරියක් මාරු කරන එක නම් එච්චර අමාරු නෑ. සාමාන්‍යෙයන් අපි පාවිච්චි කරන 650VA 7Ah බැටරියක් රු 1200ත් 1500ත් අතර මිලකට මිලදී ගන්න පුලුවන්. කොහොමද UPS  බැටරියක් මාරු කරන්නේ කියන එක ගැන වීඩියෝවක් පහල ලින්කුවක දාලා තියෙනවා. 

                     හරියාකාරව UPS එකක් භාවිතා කරන්නේ කොහොමද කියලා අපි බලමු. විදුලිය විසන්ධි වුන  වෙලා විදුලිය ලබා දීම ups එකට මාරු වුනා කියන buzzer beep එක ආපු වෙලාවෙම වගේ තමන් කරමින් හිටි වැඩ ටික හිමි හිමින් save කරලා පරිගණකය shut down කිරීමට කටයුතු කරන්න. කිසි විටෙකත් සම්පූර්ණයෙන්ම බැටරිය බසින තුරු තියන්න එපා. විදුලිය නැතිවුනාමත් දිගටම පාවිච්චි කලොත් UPS එකේ ගබඩා කරගෙන තියෙන විදුලිය ශූන්‍ය වෙනවා. මොකද දැන් එන UPS වර්ග බාලයි වගේම ඒවයෙ එන බැටරිත් ඒ වගෙයි. ඒ විදිහට දෙතුන් පාරක් වුනොත් ආයෙත් මුල් තත්වෙන් UPS එක පාවිච්චි කරන්න බැරි වෙයි. සමහර අය කියනවා වගේ මේක ශූන්‍ය කර කර නැවත ආරෝපණය කරන්න පුලුවන් වුනත් ඒක නම් කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. වැසි දිනයකදි නම් UPS එක බිත්තියේ ප්ලග් වලින්ම ඉවත් කරලා තියාගන්න. තවත් දෙයක් තමයි පරිගණකය හා තිරය මේසය මත තිබ්බත් UPS එක පහලින් තබාගෙන පාවිච්චි කරන්න. ඕක මොනිටරය අසලම තිබුනොත් කාලයක් යද්දි තිරයේ dead pixels ඇතිවෙන්න හැකියාව තියෙනවා. මොකද එමගින් ප්‍රේරණය වන චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමෙන් තිරය සෙමින් සෙමින් දෙදරීමට බලනවා අපට ඇහැට නොපෙනුනත්. 

UPS එකක් තිබිමේ වාසි,


  1. විදුලිය බිද වැටිමකදී අපි නිරතව සිටි ක්‍රියාකරකම් Save කිරීමට හැකි වීම සහ Shut down කරගැනීමට  ඇති හැකියාව.
  2. අපේ රටේ නිරන්තරයෙන් සිදු වන විදුලිය අඩු වැඩි වීම් වලින් විශ්වාසදායී ආරක්ෂාවක් ලබාගත හැකිවීම.
  3. අකුණු සැර මගින් දුරකථන රැහැන දිගේ එන විදුලියෙන් router වැනි උපාංග ආරක්ෂා කරගැනීමේ හැකියාව.
  4. නිරන්තරයෙන් ලෙඩ නොදෙන UPS එකේ නඩත්තු කටයුතු යනුවෙන් අප හඳුන්වන්නේ එය නිසි කලට ආරෝපණය කරගැනීම ඇතුලු මනා කලමණාකාරීත්වයක් පමණක් වීම.





                     UPS එකට ලැබෙන විදුලිය කොච්චරක්ද කියන එකත් අපිට බලා ගන්න හැකියි.   බැටරිය කොයි තරම් ප්‍රමාණයක් ආරෝපණය තියෙනවද කියන විස්තරත් බලාගන්න පුලුවන්. එමෙයට UPS එක ගනිද්දි ඒත් එක්ක දෙන කට්ටලයේ තිබෙන CD තැටියේ ඇති මෘදුකාංගය Install කරගන්න ඕන. ඒ මෘදුකාංගය අපිට ඕන විදිහට වෙනස් කරගත්තාම  අපිට පුළුවන් අපි පරිගණකයෙන් ඉවත් වෙලා ඉන්න වෙලාවට එය ස්වයංක්‍රීයව shutdown වීමට settings සකසන්න. ඒ වගේම  තව ​ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්.   UPS එකත් එක්ක RJ11 Cable එකක් වගේම ඒ හැඩයේ RJ11 ආකාරයේ port දෙකකුත් අලුතෙන් එන මාදිලි වල එනවා ඔබ දැකලා ඇති. ඔබ භාවිතා කරන්නේ SLT වැනි wired connection එකක් නම් ඒ කේබල් එකෙන් වාසියක් ගන්නත් පුලුවන්. ඒ මොකක්ද? දැන් UPS In හා Out ලෙසින් RJ11 port දෙකක් තියෙනවානේ. ඔබේ Router එකට RJ11 Cable එක එන්න කලින් ,  Splitter එකේ modem හෝ dsl යනුවෙන් දැක්වෙන ස්ථානයට RJ11 Cable එකක් සම්බන්ධ කර එහි අනිත් අග්‍රය UPS එකේ In යනුවෙන් සඳහන් තැනටත්, එහිම Out යනුවෙන් සඳහන් තැනින් තවත් RJ11 Cable එකක් ගෙන එය රවුටර් එකේ adsl port එකට යොමු කලාම විදුලිය හා සම්බන්ධ ඇනහිටීම් හා හානි වලින් වගේම හදිසි ඇනහිටීමකදි වෙන Router Reset විමත් මෙමගින් වලක්වා ගත හැකියි. ඒත් ඕකෙන් ලොකු ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඉතින් ඒ වැඩේට වඩාත්ම හොඳයි Surge  Protector එකක් භාවිත කරන්න පුලුවන් නම්. මොකද මේ UPS එකේ RJ11 port එක සම්බන්ධ වෙන තැන ඇතුලේ ගොඩක් වෙලාවට තියෙන්නේ Varistor Fusible Resistor එකක් දාපු පොඩි Surge Protection Circuit එකක්.  අර කිව වගේ ෆෝන් ලයින් එක ඔස්සේ එන අකුණු සැරයක් Router එකට යන්න කලින් ලුහුවත් කරන එකෙන් Router එක ආරක්ෂා වෙනවා. එහෙම වෙන්නේ අර කියපු Surge Protection Circuit එක තමන් විසින්ම එකෙන්ම පුච්චගෙන විම නිසා එකපාරක් එහෙම දෙයක් වුනොත් ආයෙත් නැවත ඒක යොදන්න වෙනවා.ඉතින්  UPS එකේ ඒ පහසුකම  අඩුකරලා surge protector එකක් වෙනම දාගන්න එක ඇඟට ගුණයි කීවේ ඒ හේතුව මත.

     



මේ තියෙන්නේ කාලිංග අයියගෙ Techකතා The Magazine එකේ යු.පි.එස් සම්බන්ධව වීඩියෝවකුත් එක්ක දාපු විස්තරයක්... මෙතනින් 

ගෙදර විදුලිය නැති වුන වෙලාවට මොනවද කරන්න පුලුවන් දේවල් යන්න කියලා දෙන පට්ට වීඩියෝ එකක් හම්බුනා නෙට් එකේදී. ඒකෙ නම තමයි  10 Things To Do In A Power Cut. මේ මාතෘකාවට කොහෙත්ම අදාලත්වයක් නොවුනත් බලන්නකො මේ වීඩියෝවෙන් කියන දේවල් මොනවද කියලා. මෙතනින්

               තවත් දෙයක් කියන්න ඕන. ඒ තමයි දැන් අපේ රටේ අලෙවි වන බොහොමයක් UPS වර්ග තත්වයෙන් බාලයි. ඒ සන්තෑසියම තමයි අනෙකුත් විද්‍යුත් උපකරණ වලටත් වෙලා තියෙන්නේ. ගොඩක් බහුජාතික සමාගම් කරන්නේ ඔවුන්ගේ අලුත් හා පර්යේෂණ මට්ටමේ නිෂ්පාදන අපේ රට වගේ සංවර්ධනය වෙමින් පවතින රටවලට එවලා ඒවගේ සාර්ථකත්වය මැන ගැනීමට අපි වගේ පාරිභෝගිකයා පාවිච්චි කිරීමයි. ඒ වගේම ලොකු රටවල් වලට යවන්න බැරි දෝෂ සහිත උපකරණ ඒවා දෝෂ සහිත බවත් හොඳින්ම දැනගෙන අපේ  රටට එවීමත් එන්න එන්නම වැඩි වෙලා තියෙන හන්දා මේ වගේ සංවේදි උපකරණ ගනිද්දි වගකීම් කාලය තුල ඇති හා After service එක හොඳින්ම හා රස්තියාදුවක් නැතුවම කරලා දෙන තැනකින් ගන්න කියන එකයි අවසානයට කියන්න තියෙන්නේ. ඔබට ජය...

No comments:

Post a Comment